Showing posts with label පළමුවන පරිච්ඡෙදය. Show all posts
Showing posts with label පළමුවන පරිච්ඡෙදය. Show all posts

Thursday, February 9, 2012

පූර්ව ජන්ම ප්‍රතිකාර මඟින් සුවපත් වූ මගේ රෝගීන්

කැතරින් පිළිබඳ අත්දැකීමෙන් පසු මනෝවිද්‍යාව සම්බන්ධයෙන් වූ මගේ දෘෂ්ටිය විප්ලවීය ලෙස වෙනස් වූයේ ය. මනෝව්‍යාධිමය තත්වයන් හා සුව කිරීමට මාස ගණන් අවුරුදු ගණන් ගත වූ මිල අධික ප්‍රතිකාරයන් අවශ්‍ය වූ රෝග ලක්ෂණ සඳහා පූර්ව ජන්ම ප්‍රතිගමණය වඩාත් වේගවත් වූ විසඳුමක් බැව් මට අවබෝධ විය. වේදනාවන් හා භීතිකාවන් සුව කිරීම සඳහා මෙය අතිශයින්ම සෘජු ක්‍රමයක් වූයේ ය. මේ ප්‍රතිකාර ක්‍රමය අන් රෝගීන් සඳහා ද මා විසින් අත්හදා බලන ලද අතර ඉන් හැම විට ම විශිෂ්ට ප්‍රතිඵල ලැබිණි. මා අතින් මේ කෘතිය ලියවෙන මොහොත වන විට මම සිය ගණන් රෝගීන් ඔවුන් ගේ පෞද්ගලික ප්‍රතිකාර සැසි තුළ දී පූර්ව ජන්ම ප්‍රතිගමණයට බඳුන් කොට ඇත්තෙමි. එ මෙන් කිහිප ගුණයක් දෙන මගේ කණ්ඩායම් වැඩ මුළු වල දී ප්‍රතිගමණයට ලක් වූ හ.

මගේ රෝගීන් වූවෝ කවරහු ද? වෛද්‍යවරුන්, නීතීඥයින්, ව්‍යාපාරිකයන්, මනෝ චිකිත්සකයන්, ගෘහණියන්, කම්කරුවන්, අලෙවිකරුවන් ආදී ‍බොහෝ දෙනෙක් ඒ අතර වූ හ. ඔවුහු වෙනස් ආගම්, වෙනස් සමාජ ආර්ථික මට්ටම්, වෙනස් අධ්‍යාපනික පසුතලයන් හා වෙනස් ඇදැහීම් පද්ධති වලින් යුතු නානාංගකෘත පිරිසක් විය. එතෙකුදු වුව ඉන් බොහෝ දෙනෙකුට සිය පූර්ව ජන්මයන් පිළිබඳ සවිස්තරව සිහිපත් කළ හැකි වූ අතර තවත් බොහෝ දෙ‍නකුට කායික මරණය ඉක්මවා ගිය අවිච්ඡින්න පැවැත්මක මතකයන් ශේෂ ව තිබිණ.

මගේ රෝගීන් ගෙන් බහුතරයක් දෙනා පූර්ව ජන්ම ප්‍රතිගමණ අත් දැකීම ලැබුවේ සම්මෝහ නිද්‍රාව තුළිනි. ඇතැමුන්ට භාවනාව තුළින් ද, ස්වයං සිද්ධ ව ද පූර්ව ජන්මයන් පිළිබඳ ස්මරණයන් ගලා ආවේ විචිත්‍ර සුවිෂද සිහිනයන්, පෙර දුටු හුරුව (Déjà Vu) හෝ වෙනත් එ වැනි ස්වරූපයන් ගෙනි.

ඔවුන් බොහෝ දෙනකුට මෙ මඟින් සිය නිදන් ගත හා යාව ජීව රෝග ලක්ෂණයන් වූ භීතිකාවන්, සන්ත්‍රාසක ප්‍රහාර, පුනරාවර්තිත නපුරු සිහින, අහේතුක බිය, තරබාරු කම, නිරන්තර ව බිඳ වැටෙන සබඳතා, කායික වේදනාවන් හා රෝගී තත්වයන් වැනි අපහසුතා වලින් මුළුමනින් ම මිදීමට හැකි වූයේ ය.

එහෙත් මෙය ප්ලැසිබෝ ප්‍රතිඵලයක් (ඖෂධයක් සේ පෙනෙන ව්‍යාජ පෙත්තක් මඟින් මානසිකව රෝග සුව කිරීම) නො වී ය. මේ මිනිස්සු ලෙහෙසියෙන් රැවටෙන සුළු හෝ නම්මා ගත හැකි පිරිසක් නො වූ හ. ඔවුන්ට සිය පූර්ව ජන්මයන් හි නම්, දින වකවානු, භූගෝලීය ලක්ෂණ ආදිය සවිස්තරව මතක තිබිණි. එ සේ ම පූර්ව ජන්මයන් සිහිපත් වීමෙන් අනතුරු ව ඔවුහු කැතරින් සේ ම සුවපත් වූ හ.

කායික හා චිත්තාවේගික රෝග ලක්ෂණයන් සුවපත් වීමට වඩා වැදගත් වූයේ අපගේ සිරුරු මිය ගිය ද අප නොමියෙන බවට ලත් දැනුමයි. අපි අමරණීය වෙමු. කායික මරණය අභිබවා අපි නො නැසී පවතින්නෙමු.

“කාල තරණයෙන් සුවයට” යන මේ කෘතිය තුළ මා පෙළ ගස්වන්නේ Many Lives, Many Masters කෘතිය ලියා පළ කළ තැන් පටන් පූර්ව ජන්ම ප්‍රතිගමණය තුළ වූ සුව කිරීමේ විභවය පිළිබඳ මා උගත් පාඩම් ය. මේ සිද්ධි අධ්‍යයනයන් සියල්ල ම සත්‍ය ඒවා වන අතර පුද්ගලයන් ගේ නම් සහ ඔවුන් ගේ අනන්‍යතාව හෙළි විය හැකි තොරතුරු පමණක් වෙනස් කොට දක්වා ඇත.

Monday, February 6, 2012

ගුරු ස්වාමිවරු

1979 මුල් භාගයේදී බරපතල හෘදයාබාධයකට ලක් වීමට පෙර මගේ පියා ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කෙළේ ය. එ කල ඔහු ගේ වයස අවුරුදු හැට එකකි. හෘදයාබාධයෙන් ඔහුගේ දිවි ගැලවුණත්, එය ඔහුගේ හෘද බිත්තියට පිලිසකර කළ නො හැකි හානියක් කෙළේ ය. ඔහු මිය ගියේ ඉනුත් අවුරුදු තුනකට පසුව යි. මෙය සිදු වූයේ කැතරින් හා මා අතර වූ ප්‍රථම හමුවට මාස නමයකට පමණ කලිනි.

මගේ පියා ආගම දහමට ලැදි වූ අයකු වුව ද එය බොහෝ විට ආමිස පක්ෂයට මිස ආධ්‍යාත්මික පක්ෂයට බර වූවක් නො වී ය. ඔහුගේ හීබ්‍රෑ නාමය වූ අවුරෝම් යන්න එහි ඉංගිරිසි පර්යාය නාමය වූ ඇල්වින් යන්නට වඩා හොඳින් ඔහුට ගැලපුණේ ය. ඔහු ගේ මරණයෙන් මාස හතරකට පසු අපේ දියණිය ඇනී ඉපදුණු අතර ඈට නම් තැබුණේ ඔහු ගේ නම ආශ්‍රයෙනි.

දැන් මේ 1982 වර්ෂයේ මගේ අඳුරු නිසංසල කාමරය තුළ දෙසවන් අගුළු වටවන සුළු ගූඪ අභිරහස් සත්‍යයන් සමුදායක් මා මත පතිත වෙමින් පැවතිණ. ආධ්‍යාත්මික සාගරයක රැලි මත පිහිණමින් මම ඒ දිය කඳට ඇලුම් කරන්නෙක් වීමි. මගේ දෑ‍තේ රෝමෝද්ගමනය වී තිබිණි. කැතරින්ට මේ තොරතුරු දැන ගන්නට මඟක් නො වී ය. ඒ පිළිබඳ සොයා බලන්නට මූලාශ්‍රයක් ද නො වී ය. මගේ පියා ගේ හීබ්‍රෑ නාමය... කෝටියකින් එක් අයකුට පමණක් වැළ‍‍ඳෙන දුර්ලභ සංකුලතාවයකින් මිය ගිය පුතා... දියණිය ගේ නම් තැබීම... ඒ සියල්ල පමණට වඩා බෙහෙවින් ම වැඩි විය. පමණට වඩා නිශ්චිත විය. පමණට වඩා සත්‍ය විය. මේ අවිදග්ධ රසායනාගාර ශිල්පිනිය ලෝක විෂය ඉක්මවා ගිය දැනුම් ප්‍රවාහයක ප්‍රණාලිය වූයේ කෙසේ ද? ඇයට මේ සත්‍යයන් නිරාවරණය කළ හැකිනම් එහි වැඩි දුරටත් ඇත්තේ මොනවා ද? මට වඩ වඩාත් දැන ගැනීමට අවශ්‍ය විය.

“කවුද ඔතැන ඉන්නේ” මම ඇසීමි. “කවුද ඔබට මේවා කියන්නේ”

“ගුරු ස්වාමිවරු” ඈ කෙඳිරුවාය. “ගුරු ආත්මයන් මට කියන්නෙ... ඔවුන් කියන‍වා ද්‍රව්‍යමය ලෝකයේ ‍මම අසූ නම වතාවක් ජීවත් වී ඇති බව. ”

කැතරින් මේ කාරණා දැන නො සිටි වග ද ඇයට ඒ ගැන දැන ගැනීමට මඟක් නොවූ වග ද මම දැන සිටියෙමි. නිව් ජර්සි හි දී මිය ගිය මගේ පියාගේ භූමදානය සිදු ‍කැරුණේ උතුරු නිව්යෝක් හි දී ය. ඒ සම්බන්ධයෙන් අවමංගල්‍ය දැන්වීමක් හෝ පළ වූයේ නැත. ඇඩම් මිය ගියේ මීට දශකයකට පමණ පෙර සැතපුම් එක් දහස් දෙසීයකට පමණ දුරින් පිහිටා තුබූ නිව්යෝක් නගරයේ දී ය. ‍ෆ්ලොරීඩාවේ වූ මගේ සමීපතම මිතුරන්ගෙන් ඇඩම් ගැන දැන සිටියේ අතලොස්සක් දෙනා පමණි. මරණයට හේතුව දැන සිටියේ ඉනුත් කිහිප දෙනෙකි. මා සේවය කළ රෝහලේ කිසිවෙක් ඒ ගැන දැන නො සිටියේ ය. මගේ පවුල් ඉතිහාසය ගැන දැන ගැනීමට ද කැතරින් හට කිසි දු මඟක් නො වී ය. එහෙත් ඈ නිසැකව ම සඳහන් ‍කෙළේ ඇල්වින් යන ඉංගිරිසි අනුවාදය නොව ඇව්රොම් යන මූලකෘත නාමය යි.

මගේ විශ්මය ක්‍රමයෙන් දිය වී යන්නා හා ම මම නැවත වරක් විද්‍යාත්මක ක්‍රමයට පුහුණු කරණු ලැබූ ආධානග්‍රාහී මනෝචිකිත්සකයා බවට පත් විමි. මම පොත් හල් ද පුස්තකාල ද පීරමින් වැඩිදුර විස්තර සොයන්නට පටන් ගතිමි. මෙහි දී පුනර්ජන්ම ස්මරණ සේ ගම්‍යමාන වන විස්තර ප්‍රකාශ කළ කුඩා ළමුන් ආශ්‍රයෙන් සිදු කළ ආචාර්ය ඉයන් ස්ටීවන්සන් ගේ විශිෂ්ඨ පර්යේෂණයන් මට හමු විය. මේ පර්යේෂණ ගැන පොතේ පසු පරිච්ඡේදයක දී කෙටියෙන් සාකච්ඡා කිරීමට මම අදහස් කරමි. එ සේ ම මට හමු වූ තොරතුරු අතර සම්මෝහ නිද්‍රාව හා යමකු ගේ උප විඥානය පූර්ව ජන්ම ස්මරණ කරා රැගෙන යා හැකි වෙනත් ශිල්ප ක්‍රම භාවිතා කරමින් පූර්ව ජන්ම ප්‍රතිගමණය සිදු කළ චිකිත්සකයින් කිහිප දෙනකුගේ ප්‍රසිද්ධ කරන ලද පර්යේෂණ වාර්තා කිහිපයක් ද විය. දැන් මට අවබෝධ වී ඇති සැටියට නම්, වෘත්තීය ජීවිතයට හා කීර්ති නාමයට කැළැලක් වෙතැයි බියෙන් සිය පර්යේෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ නො කොට තබා ගෙන සිටින චිකිත්සකයෝ බොහෝ දෙනෙක් සිටිති.

මගේ Many Lives, Many Masters කෘතියේ සවිස්තර ව දක්වා ඇති පරිදි කැතරින් ඇගේ පූර්ව ජන්මයන් රාශියක සැරි සැරූ අතර ඉන් මැ සුවපත් වූවා ය. සිත් තුළ මුල් බැසගත් මරණය පිළිබඳ බියෙන් ද ආඝාතකර රෝග ලක්ෂණ වලින් ද මුළු මනින් ම මිදුණු ඕ ප්‍රීතිමත් හා ප්‍රමෝද ජනක ජීවිතයක් ඇරඹුවා ය. සවිඥානික මනස අභිබවා පවතින්නා වූ මතකයේ හා පෞරුෂයේ යම් කොටසක් කායික මරණය ද ඉක්මවා ‍නොනැසී පවත්නා බැව් ඈ දැන් දනී.

Sunday, February 5, 2012

ඇඩම්ගේ මරණය

“ඔබේ පියා මෙහි ඉන්නවා... ඒ වගේ ම ඔබේ කුඩා පුතාත් ඉන්නවා. ඔබේ පියා කියනවා ඔබ ඔහු ව හඳුනා ගනීවි කියා, මන්ද ඔහුගේ නම ඇව්රෝම් නිසාත් ඔබේ දුවට නම් තැබුවේ ඒ නමින් නිසාත්. ඔහුගේ මරණය සිද්ධ වුණේ හෘදය වස්තුව නිසා යි. ඔබේ පුතාගේ හෘදය වස්තු‍වත් වැදගත්... ඒ මන්ද එය කුකුළු පැටවකුගේ මෙන් දුර්වල නිසා. ඔහු ආදරය නිසා ම ඔබ වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කළා. ඔහුගේ ආත්මය ඉතා උසස් එකක්. ඔහුගේ මරණය දෙමාපියන්ගේ ණය බර අඩු කළා. ඒ එක්ක ම ඔහුට ඕනෑ කළා වෛද්‍ය විද්‍යාවට යා හැකි දුර මෙ පමණයි එහි විෂය පථය බොහොම සීමා සහිත යි කියන කාරණය ඔබට පෙන්වන්ට.”

කැතරින් කථාව නතර කළා ය. මම හිරි වැටී ගිය මනසින් යුතුව නිහඬ බව තුළ ගිලී කිසිවක අක් මුල් සොයා ගන්නට බැරි ව තතනමින් සිටියෙමි. කාමරය තුළ හිම මෙන් සීතලක් දැනිණ.

කැතරින් මගේ පෞද්ගලික ජීවිතය ගැන දැන සිටියේ අල්ප වශයෙනි. යටි ඇන්දේ යන්තමින් මෝදුවී එන කිරි දතක් පාමින් ප්‍රීතිමත් මුවින් සිනා සෙමින් සිටින දියණියගේ ළදරු වියේ ඡායාරූපයක් මගේ මේසය මත වී ය. ඊට යාබද ව තිබුණේ පුතණුවන්ගේ ඡායාරූපය යි. ඒ හැරුණු කොට මගේ පවුල හෝ ‍පෞද්ගලික ජීවිතය ගැන කැතරින් කිසිවක් දැන සිටියේ නැත. සාම්ප්‍රදායික මනෝ චිකිත්සක ශිල්ප ක්‍රම ගැන මම හොඳින් හදාරා සිටියෙමි. ප්‍රතිකාරකයා යනු රෝගියා විසින් මුදා හරින සිතිවිලි, ආකල්ප හා හැඟීම් අතුරාලීම සඳහා සැකැසූ හිස් ඵලකයක් විය යුතු බව පොදු පිළිගැනීම විය. එ විට ප්‍රතිකාරකයාට කරුණු විශ්ලේෂණය කොට රෝගියාගේ මනස නමැති රංග භූමිය විශාලනය කොට නැරඹිය හැකි වූයේ ය. මම කැතරින් සම්බන්ධයෙන් ද මේ ප්‍රතිකාරාත්මක පරතරය හැම විටම පවත්වා ගතිමි. ඈ මා පිළිබඳ දැන සිටියේ ඇගේ මනෝ වෛද්‍යවරයා වශයෙන් පමණක් වූ අතර මගේ අතීතය හෝ ‍පෞද්ගලික ජීවිතය ගැන කිසිවක් දැන නො සිටියා ය. යටත් පිරිසෙයින් මගේ කිසි දු අධ්‍යාපනික සහතික පත්‍රයක් හෝ කාර්යාලය තුළ ප්‍රදර්ශනය කොට නො තිබිණ.

මා ජීවිතයේ අත් දුටු දරුණු තම ඛේදවාචකය වූ යේ 1971 මුල් භාගයේ දී සිදු වූ කුලුඳුල් පුතු ඇඩම් ගේ අනපේක්ෂිත මරණය යි. මිය යන විට ඔහු ඉපදී යන්තම් දින විසි එක පිරුණා පමණි. නිවෙසට රැගෙන විත් දින දහයකට පමණ පසු ඔහුට ශ්වසන අපහසුවක් ද දරුණු වමනයක් ද හට ගත්තේ ය. රෝග විනිශ්චය අතිශයින් ම බැරෑරුම් එකක් වූ අතර ඔවුන් අපට කීවේ එය “කර්ණිකා ආවාර විකෘතිය සහිත පූර්ණ අනියම් පුප්ඵුසීය ශිරා අපවහනය” බවත් “එය උපත් කෝටියකින් එකක දී පමණක් දක්නට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක්” බවත් ය. හෘදය වෙත ඔක්සිජනීකෘත රුධිරය ගෙන යන පුප්ඵුසීය ශිරාව මං මුලාව ගොස් හෘදය තුළට වැරැදි පසින් ඇතුළු වී තිබිණ. එය ඔහුගේ හෘදය කණපිට හැරවූවාක් බඳු අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් විය.

වික්‍රමාන්විත විවෘත හදවත් සැත්කමින් පලක් නො ලද ඇඩම් දින කිහිපයකට පසු මිය ගියේ ය. අපි මාස ගණනක් පුරා ශෝකයෙන් වැළපුණෙමු. අපේ ප්‍රාර්ථනා හා සිහින සියල්ල පුපුරා බිඳ වැටී තිබිණ. ඉන් වසරකට පසු උපන් දෙවන පුතු ජෝඩාන් තුවාල වූ අපේ හදවත් මත තවරා ලූ චන්දනාලේපයක් විය.

ඇඩම්ගේ මරණය සිදු වූ කාලයේ මම වෘත්තියක් ලෙස මනෝවිද්‍යාව තෝරා ගැනීම සම්බන්ධයෙන් අතීරණාත්මක ව වැනෙමින් සිටියෙමි. මගේ සීමා වාසික වෛද්‍ය පුහුණු කාලය ප්‍රසන්න එකක් වූ අතර එහි නේවාසික තනතුර සඳහා ද මට ඇරයුම් ලැබී තිබිණ. ඇඩම් ගේ මරණයෙන් පසු මගේ වෘත්තිය විය යුත්තේ මනෝවිද්‍යාව බවට මම දැඩි තීරණයක් ගතිමි. මහා තාක්ෂණ හරඹ, දැනුම් අටෝරාසියක් පිරිවරා ගෙන සිටියත් මගේ අසරණ දරුවා ගලවා ගන්නට අසමත් වූ ඊනියා නූතන වෛද්‍ය විද්‍යාව කෙරේ මා තුළ වූයේ කෝපයකි.

Friday, January 27, 2012

අසාමාන්‍ය සුවපත් වීම

මෝහන සැසිය අතරතුර කැතරින්ට වෙනත් පූර්ව ජන්ම දෙකක් ගැන සිහිපත් කළ හැකි විය. ඉන් එකක දී ඕ 18 වන සියවසේ ස්පාඤ්ඤයේ ජීවත් වූ ගණිකාවක වූ අතර අනෙකේ දී පළමු කී පෙරදිග ජන්මයෙන් සියවස් කිහිපයකට පසු උපන් ග්‍රීක ගැහැණියක වූවා ය.

මම සැකයෙන් වික්ෂිප්ත වූයෙමි. වසර ගණනාවක් පුරා රෝගීන් සිය ගණනක් සම්මෝහ නිද්‍රාවට පත් කෙළේ නමුදු කිසි දාක මෙ වැන්නක් සිදු වී නො තිබිණ. හැරත් මා කැතරින් හඳුනා ගෙන සහ ඇයට ප්‍රතිකාර ලබා දීම අරඹා වසරකටත් වැඩි කලක් ගත වී තිබිණි. මා සහතික වශයෙන් දැන සිටි පරිදි ඇයට සයිකෝසීය මනෝ ව්‍යාධියක් හෝ භ්‍රාන්තීන් හෝ බහුවිධ පෞරුෂ තත්වයක් කිසි දිනෙක නො වී ය. ඇය මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ද නො සිටියා ය. එ බැවින් මගේ නිගමනය වූයේ ඇගේ මේ “මතකයන්” තුළ වූයේ සිහිනමය පරිකල්පනයන් හෝ ෆැන්ටසිමය මායාවන් විය හැකි බව යි.

එහෙත් ඒ අතර කිසියම් අසාමාන්‍ය දැයක් සිදු වෙමින් පැවතිණ. එ නම් කැතරින්ගේ රෝග ලක්ෂණ විස්මය ජනක ලෙසින් වියැකී යාමට පටන් ගැනීම යි. සිහිනමය හෝ ෆැන්ටසිමය මායාවන් තුළ මෙ වැනි වේගවත් හා පරිපූර්ණ සායනික සුවපත් වීමක් කිසි‍ විටෙක සිදු විය නො හැකි බව මම දැන සිටියෙමි. සතියෙන් සතිය අලුත් මෝහන සැසි වල දී පෙර ජන්මයන් එකිනෙක සිහිපත් වත් ම, පෙර දී සුව නො වූ ඇගේ රෝග ලක්ෂණ එකින් එක අතුරුදහන් වන්නට පටන් ගත්තේ ය. මාස කිහිපයක දී කිසි දු ඖෂධයක් භාවිතා නො කොට ම ඕ පූර්ණ වශයෙන් සුවපත් වූවා ය.

මේ සම්බන්ධයෙන් මා තුළ වූ සංශය කෙමෙන් දිය වී යන්නට විය. සිව් වැනි හෝ පස් වැනි සැසිය තුළ දී සිදු වූයේ අතිශයෙන් ම විස්මිත වූ දැයකි. එක් පෞරාණික ජන්මයක දී මරණයට පිවිසෙන්නා වූ කැතරින් භවයන් දෙකක් අතර තුර සැම විට ම ඈ අත් දුටු පරිදි සිය සිරුර මතින් පාවී ගොස් හුරු පුරුදු ආධ්‍යාත්මික ආලෝකය වෙතට ඇදී ගියා ය.

“ඔවුන් මට කියන‍වා බොහෝ දෙවියන් සිටින බව, අප හැම කෙනකු තුළ ම දෙවියන් සිටින බව” ඈ වියලි ගොරෝසු හඬින් කීවා ය. මගේ ඉදිරි ජීවිතය උඩු යටිකුරු කොට සහමුලින් ම වෙනස් කළා වූ ජවනිකාව ඇරඹුණේ ඉන් අනතුරුව යි.

Thursday, January 26, 2012

පූර්ව ජන්මයකට ගිය කැතරින්

අවසානයේ මෝහන ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලීමට ඈ කැමැති වූවා ය. මෙහි දී මා බලාපොරොත්තු වූයේ කිසියම් ඉලක්කගත චිත්ත ඒකාග්‍රතා ක්‍රමවේදයක් යොදා ගනිමින් මෙ‍ම රෝග ලක්ෂණ වලට හේතු වූවා යැයි මා අනුමාන කළ ළමා වියේ දී ඇගේ යටි සිතට කා වැදුණු කිසියම් චිත්තවේගීය කම්පනයක් වෙත ඇගේ මතකය රැගෙන යාම යි.

කැතරින්ට ගැඹුරු සම්මෝහ නිද්‍රාවකට පත් වීමට හැකි වූ අතර සවිඥානිකව සිහිපත් කළ නො හැකි වූ සිදුවීම් පිළිබඳ මතකය අවදි කර ගන්නට ඈ සමත් වූවා ය. වරක් පිහිණුම් තටාකයේ කිමිදුම් පුවරුවෙන් ඉවතට තල්ලු කරනු ලැබ වතුරට වැටී හුස්ම හිරවීමෙන් අපහසුවට පත් අයුරු ඈට සිහිපත් විය. එසේ ම දන්ත වෛද්‍යවරයාගේ කාමරයේ දී ගෑස් මුහුණක් පැළඳවීමෙන් සන්ත්‍රාසයට පත් වූ අයුරු ඈට සිහිපත් විය. නරක ම දෑ වූයේ තුන් හැවිරිදි වියේ දී සිය බීමත් පියා විසින් අත පත ගානු ලැබූ අයුරු සිහිපත් වීම යි. ඔහු ගේ දැවැන්ත අතින් මුව වසා ඈ නිහඬ කරවනු ලැබ තිබිණ. අපට නිවැරදි පොටක් පෑදුණ බව මගේ විශ්වාසය විය. දැන් ඉතින් ඇගේ තත්වය යහපත් අතට හැරෙනු ඇතැයි මම විශ්වාස කෙළෙමි.

එහෙත් මගේ පුදුමයට මෙන් තත්වයෙහි කිසි දු ප්‍රගතියක් නොවී ය. මෙය බලාපොරොත්තු නො වූ ප්‍රතිචාරයක් වූයෙන් මා නිගමනය ‍කෙළේ ඇගේ උපවිඥානය තුළ මිහිදන් වූ චිත්තවේගාත්මක කම්පනයන් තවත් ඉතිරිව තිබිය හැකි බවයි. තුන් හැවිරිදි වියේ දී පියා පියා අතින් වූ අකටයුත්ත ඇතැම් විට ඊට පෙර බාල වියේදී ද සිදු විය හැකි ව තිබිණ. අප විසින් නැවත උත්සාහ කළ යුතු විය.

ඊ ළඟ සතියේ මම නැවත වරක් කැතරින් වඩාත් ගැඹුරු තලයක වූ සම්මෝහ නිද්‍රාවකට රැගෙන ගියෙමි. මෙ වර මම අත් වැරදීමකින්, නිශ්චිත දිශානතියකින් තොර වූ විවෘත විධානයක් දුනිමි.

“ඔබේ රෝග ලක්ෂණ පැණ නඟින කාලය වෙත ආපසු ගන්න.”

මා මින් අදහස් කෙළේ කැතරින් ඇගේ පූර්ව ළමා විය වෙත නැවත කැඳවීමකි.

එහෙත් ඒ වෙනුවට සිදු‍ වූයේ ඇය වසර හාර දහසකට පමණ එ පිටින් වූ පෞරාණික ප්‍රත්‍යාසන්න පෙරදිග පූර්ව ජන්මයක් වෙත ඇදී යාම යි. එහි දී ඇය වෙනත් සිරුරක් ද, වෙනස් මුහුණක් ද, වෙනස් කෙස් කළඹක් ද, වෙනස් නාමයක් ද දැරුවා ය. එම යුගයේ භූමි විස්තර ද, ඇඳුම් පැලඳුම්ද, එදිනෙදා පරිහරණය කළ භාණ්ඩ ද ඇයට මතකයට නඟා ගත හැකි වූයේ ය. ජල ගැල්මකට හෝ වෙනත් ජල ප්‍රවාහයකට හසු ව දියේ ගිලී මළ සැටි සහ සිය අත දරුවා ජල ප්‍රවාහය විසින් ඩැහැගනු ලැබූ අවසන් ජවනිකාව තෙක් ඒ ජිවිතය තුළ අත් දුටු සියලු සිදුවීම් ඈට සිහිපත් කළ හැකි විය. මිය යන්නා හා ම ඈ සිය සිරුරින් ඉහළට පාවී ගියේ ආචාර්ය එලිසබෙත් කුබ්ලර් රොස්, ආචාර්ය රේමන්ඩ් මූඩි, වෛද්‍ය කෙනත් රිං ඇතුළු වෙනත් එ වැනි වියතුන් ගේ පරීක්ෂණ වාර්තා වල සඳහන් මරණාසන්න අත්දැකීම් පුනරාවර්තනය කරමිනි. (මේ මරණාසන්න අත්දැකීම් පිළිබඳ මේ පොතෙහි අන් තැනෙක විස්තර සහිතව සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙමි.) කෙ සේ වුව ද, කැතරින් මේ වියතුන් පිළිබඳ හෝ ඔවුන්ගේ පර්යේෂණ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත.

ආරම්භය

ඔබ මගේ Many Lives, Many Masters (අනේක ජාති, අ‍නේක ගුරුන්) කෘතිය කියවා නැත්නම් කෙටි පූර්විකාවකින් මෙය ඇරඹීම සුදුසු යයි සිතමි. ඒ සුවපත් වීම පිළිබඳ කතා බහට පෙරාතුව ඔබ මා ගැන යමක් දැන ගත යුතු නිසා ය. 

ඉහත කෘතියෙහි සඳහන් කැතරින් නම් වූ සේවා ලාභිනියට කළ ප්‍රතිකාර ඇසුරින් ලත් විස්මයාවහ අත්දැකීමට පෙර මගේ වෘත්තීය ජීවිතය බෙහෙවින් ම ශාස්ත්‍රීය වූ ඒකදිශාගත එකක් විය. කොළොම්බියා විශ්ව විද්‍යාලයෙන් ගෞරව සම්මානිත ව උපාධි ලත් මම යේල් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ද ලදිමි. පසුව එහි මැ ප්‍රධාන නේවාසික මනෝ වෛද්‍යවරයා ලෙස සේවය කෙළෙමි. මා කීර්තිමත් විශ්ව විද්‍යාල ගණනාවක ම මහාචාර්යවරයකු වූ අතර, මනෝඖෂධවේදය, මොළයේ රසායනය, නින්ද පිළිබඳ අක්‍රමතා, විෂාදය, කාංසාමය ගැටලු, මත්ලෝලිත්වය හා අල්ෂයිමර් රෝගය ආදී විවිධ විෂයයන් ගැන පර්යේෂණ පත්‍රිකා හතලිහකට අධික සංඛ්‍යාවක් ලියා පළ කොට ඇත්තෙමි. පොත් ප්‍රකාශනය සම්බන්ධයෙන් මගේ පළමු දායකත්වය වූ යේ “කෝලීනමය කෘත්‍යයන්හි ජීව විද්‍යාව” නම් වූ කෘතිය යි. එය, නින්ද නොයාමෙන් පීඩා විඳි මගේ සේවාලාභීන්ට නින්දට යාම සඳහා උපකාර වූ බව සැබෑ මුත් කිසි සේත් ම හොඳින් අළෙවි වූ පොතක් නම් නොවී ය. ආධානග්‍රාහී කල්පනා ඇති වම් මොළකරුවකු වූ මම එකල අධිමානසික විද්‍යාව වැනි “අවිද්‍යාත්මක” විෂයයන් පිළිබඳ බොහෝ සැක සංකා ඇත්තෙක් වීමි. පූර්‍ව ජන්මයන් පිලිබඳ හෝ පුනරුත්පත්තිය පිළිබඳ කිසිවක් මා දැන නො සිටි අතර එ සේ දැන ගැනීමට අවශ්‍යතාවයක් ද නො වී ය.

කැතරින් යනු ෆ්ලොරීඩාහි මියාමි වෙරළේ පිහිටි මවුන්ට් සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ සභාපති වරයා ලෙස මා පත් වීමෙන් වසරකට පමණ පසු මා වෙත යොමු කරන ලද සේවා ලාභිනියකි. නිව් ඉංග්ලන්ඩ් හි උපන්, විසි වියෙහි අග්ගිස්සෙහි වූ කතෝලික තරුණියක වූ ඇයට සිය ඇදහීම පිළිබඳ අර්බුදයක් හෝ මෙකල ජීවිතය පිළිබඳ ප්‍රශ්නකාරී තත්වයක් නො තිබිණ. එහෙත් අනියත භීතිකාවන්ගෙන් ද, සන්ත්‍රාසක ප්‍රහාරයන්ගෙන් ද, විෂාදයෙන් ද, යළි යළිත් දර්ශනය වන්නා වූ බියකරු සිහිනයන්ගෙන් ද ඈ නිරතුරු ව පීඩා විඳිමින් සිටියා ය. යාවජීව වූ ඇගේ රෝග ලක්ෂණ ඒ වන විට වඩාත් නරක අතට හැරෙමින් තිබිණ.

අවුරුද්දක් පුරා සිදු කළ සම්මත මනෝ ප්‍රතිකාරවලින් අනතුරු ව ඈ බෙහෙවින් දුර්මුඛ ව සිටියා ය. සැබැවින් ම එම කාල සීමාවෙන් පසු ව ඇගේ තත්වය සුව අතට හැරිය යුතු ව තිබිණි. රෝහල් රසායනාගාරයේ තාක්ෂණ ශිල්පිනියක වූ ඇයට එම ප්‍රතිකාර වලින් යහපත් ප්‍රතිපල ලැබීමට අවශ්‍ය බුද්ධිය ද, විචක්ෂණ භාවය ද තිබිණ. ඈ මුහුණ දුන් තත්වය විසඳීමට දුෂ්කර වූවක් ලෙස සැලකීමට තරම් කිසිදු සාධකයක් ඇගේ මූලික එකලාසයෙහි දක්නට නො වී ය. සැබැවින් ම ඇගේ ජීවන පසුබිම් විස්තර වලින් තහවුරු කැරුණේ ද සාධනීය රෝග තත්ව විග්‍රහයකි. හුස්ම හෝ ගෙල හිරවීම පිළිබඳ දිගු කාලීන භීතිකාවකින් පෙළුණු කැතරින් කිසි දු ඖෂධයක් ගැනීම ප්‍රතික්ෂේප කෙළෙන් එ වැනි රෝග ලක්ෂණ වලින් පෙළෙන රෝගීන් සඳහා ප්‍රතිකාර ලෙස මා දැන සිටි විෂාදනාශක හෝ ප්‍රශාන්තිකර ඖෂධ කිසිවක් ඇයට ලබා දීමට අවස්ථාවක් නො වී ය. එහෙත් ඇගේ ඒ ප්‍රතික්ෂේපය වෙස් වලාගෙන පැමිණි ආශීර්වාදයක් බව මට එකල නො වැටහිණ.