Friday, February 10, 2012

මෝහනය හා ප්‍රතිගමණය යනු කුමක්ද?

සිය පූර්ව ජන්ම ස්මරණයන් මතු කැර ගැනීම සඳහා සේවා ලාභීන් හට උපකාර කරන්නට මා භාවිතා කළ ප්‍රධාන ශිල්ප ක්‍රමය වූයේ මෝහනය යි. බොහෝ දෙනකුට මෝහනය යනු කුමක්ද යන්න පිළිබඳ හා මෝහන නිද්‍රාව තුළ දී කුමක් සිදු වේද යන්න පිළිබඳ ගැටළු ඇතත් එය මහා අභිරහසක් නො වේ. සැබැවින් ම සම්මෝහ නිද්‍රාව යනු අප එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථාවල අත් දකින පරිදි ඉලක්ක ගත කළ චිත්ත ඒකාග්‍රතා ස්වභාවයකි.

ඔබ සැහැල්‍ලුවෙන් සිටී නම් සහ ශබ්දයක් වැනි බාහිර උත්තේජනයකින් අවධානය නො බි‍ඳෙන තරමට ඔබේ සමාධිය බලවත් නම් ඔබ සිටිනුයේ මෝහනයේ සැහැල්ලු අවස්ථාවේ දී ය. සෑම මෝහනයක් ම ස්වයං මෝහනයක් වන අතර එම ක්‍රියාවලිය පාලනය කරණු ලබන්නේ මෝහනයට ලක් වන්නා විසිනි. ප්‍රතිකාරකයා මෙහි දී හුදු මාර්ගෝපදේශකයකු පමණි. හොඳ පොතකට හෝ චිත්‍රපටයකට ඇලී ගැලී සිටින විට, කල්පනාවකින් තොර ව අවසන් වංගු දෙක තුන පසු කොට නිවෙසට එන අවස්ථාවේ දී හෝ “ස්වයංක්‍රීය නියමු” තත්වයේ සිටින බොහෝ අවස්ථා වල අපි බොහෝ දෙනෙක් සම්මෝහ නිද්‍රා තත්වයකට පත් වන්නෙමු.

භාවනාවේ මෙන් ම සම්මෝහනයේ ද එක් අරමුණක් වන්නේ උපවිඥානය වෙත ප්‍රවිෂ්ට වීම යි. මෙය සාමාන්‍ය සවිඥානයට පහළින් එ නම් අපගේ දැනුවත් මනස මත නිරන්තර ව ගැටෙන සිතිවිලි, හැඟීම් හා බාහිර උත්තේජනයන්ගේ ප්‍රහාරාත්මක අසනි වර්ෂාවට පහලින් පිහිටි මනසේ කොටසකි. උපවිඥානය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය දැනුවත් මනසේ මට්ටමට වඩා ගැඹුරින් පිහිටි මට්ටමකිනි. අප ගේ උපවිඥානමය මනස තුළ සවිඥානික සංජානනයකින් තොර ව ක්‍රියාත්මක වන මානසික ක්‍රියා‍වලියක් පවතී. ඇතැම් මොහොතක අප ඉවෙන් මෙන් හඟින දෑ, ඉබේ පහළ වන ප්‍රඥා විදර්ශනාවන් හා නිර්මාණශීලී කල්පනා යනු මේ උපවිඥානමය ක්‍රියාවලියේ ක්ෂණිකාලෝකයන් දැනුවත් මනස මත පතිත වූ අවස්ථාවන් ය.

උපවිඥානික මනස අප පණවා ගත් තර්කයේ, අවකාශයේ හා කාලයේ සීමාවන් තුළ කොටු නො වේ. එයට කවර හෝ කාල වකවානුවකින් කවර හෝ දැයක් සිහිපත් කළ හැකි අතර අපගේ ගැටළු සඳහා නිර්මාණශීලී විසඳුම් සම්ප්‍රේශණය කළ හැකි ය. එයට සමාන්‍ය ස්වභාවය අභිභවා ගොස් අපගේ එදිනෙදා ශක්‍යතාවන් ගෙන් බොහෝ දුර පිහිටි ප්‍රඥාවේ ඉම් ස්පර්ශ කළ හැකි ය. මෝහනය විසින් සිදු කරන්නේ උපවිඥානයේ ඇති ප්‍රඥාව ඉලක්කගත ක්‍රමයට මතු කැර ගනිමින් සුව කිරීම සඳහා යොදා ගැනීම යි. සාමාන්‍යයෙන් උපවිඥානය හා විඥානය අතර ඇති සබඳතාව ප්‍රතිවින්‍යාස ගත කොට උපවිඥානයට වඩාත් ආධිපත්‍යක භූමිකාවක් ලබා දුන් කළ කෙනකු සම්මෝහ නිද්‍රාවට පත් වෙතැයි අපි කියමු. පුළුල් පරාසයක් පුරා විහිදෙන මෝහන ශිල්ප ක්‍රම ඇත. ඒවා නිර්මාණය කොට ඇත්තේ සැහැල්ලු මට්ටමේ සිට ඉතා ගැඹුරු මට්ටමක් දක්වා වූ පුළුල් ප‍රාසයක විහිදුණු සම්මෝහ නිද්‍රා මට්ටම් වෙත එළැඹීම සඳහා ය.

‍එක් අතකට සම්මෝහ නිද්‍රාව යනු අඩු වැඩි වශයෙන් සවිඥානික හා අවිඥානික මනස් ද්වය ම පිළිබඳ දැනුවත් භාවය පවත්වා ගන්නා සන්තතික ස්වභාවයකි. මා විසින් අවබෝධ කොට ගෙන ඇති පරිදි යමකු සම්මෝහ නිද්‍රාව පිළිබඳ දැනුවත් භාවයක් ඇත් නම් හා ඔහුගේ භීතිකාවන් පිළිබඳ සාකච්ඡා කොට ඒවා සමහන් කොට ඇත් නම්, ප්‍රතිකාර සඳහා සුදුසු මට්ටමකට ඔවුන් මෝහනය කිරීම පහසු වේ. ඇතැම් චිත්‍රපටයක, වේදිකා හෝ ටෙලි සංදර්ශනයක මෝහනය නිරූපනය කොට ඇති ආකාරය නිසා බොහෝ දෙනකු තුළ ඒ සම්බන්ධයෙන් ඇත්තේ වැරදි අවබෝධයකි.

3 comments:

  1. ඔබතුමාගේ සමහර ලිපි මම කියවීමි. මහාචාර්ය බ්‍රයන් වයිස්ගේ මනෝ වයිද්‍ය ක්‍රම ඇගයිය යුතුය. සත්තකින්ම එය බුද්ධාගමේ උගන්වන සමථ භාවනා ක්‍රමයේ ප්‍රථම පරිච්ඡේදය වශයෙන් හැඳින් විය හැකිය. මහා චාර්ය වයිස් එතුමාගේ ක්‍රම පටි ගත කොට පවා ඇත. එය සාමාන්‍ය භාව්නා ක්‍රම වලින් වෙනස් වන්නේ එතුමා රෝගියාගේ මනසට අතීතයට ගමන් කිරීමට තම ස්වරයෙන් හැකියාව ලබා දීමෙනි. මේ ක්‍රම කොතරම් සත්‍ය වුවත්, කොතරම් හෙලිදරව් කලත් නොපිලිගන්නා කොටසක් ඇත. ඒ ජීවිත මරනයෙන් කෙලවර වෙයි.. මතු පැවැත්මක් නැත කියා විශ්වාස කරන මනෝ විද්‍යාඥයන්ය. එසේනම් යම් කෙනෙක් සිය අතීතය හෙලි කරන්නේ නම්, ඒ මතකය කොහේ සිට පැමිණියේදැයි යන ප්‍රශ්නය නිතැතින්ම නැගෙයි.
    කලකට පෙර මම මේ සබන්ධව ලිපි ලිවීම ආරම්භ කලත් දිගටම කරගෙන යාමට අපහසු විය. මගේ සිත තායිලන්තය, බුරුමය, කාම්බෝජය ආශ්‍රිත මීකොං ගංගාව ආශ්‍රිත වනාන්තරවල වෙසෙන බෞද්ධ භික්ෂූන් වහ්න්සේලාගේ පොත් අතර නතර විය. මණස ඉතා දියුණු කොට එක් එක් භික්ෂූන් වහ්න්සේලා සමග සම්මන්ත්‍රනය කිරිමේ හැකියාව ඇති නොයෙක් ඥාණ වඩා ගෙන වෙසෙන ඒ ස්වාමීන් වහන්සේලාගේ විස්තර පුදුම එලවන සුලුය. මනසින් උන්වහන්සේලා සමග ජීවත්වීමට සිතක්ද, සාසර කෙලවර කර ගැනීමට සිතක් පහල වූයේ ඉන් පසුය. පහත ඇති සටහන බලන්න.

    http://sgunatunga.blogspot.co.nz/2008/10/blog-post_28.html

    ReplyDelete
  2. @සරත්, ඔබේ අදහස් අපව දිරිගන්වන සුලුයි. ස්තුතියි ඔබට! ලිපි මාලාව සමඟ නිරන්තරව රැ‍ඳෙමින් ඔබේ අදහස් කියන්න.

    ReplyDelete