ඇතැම් විට මෙ සේ සම්මෝහයේ ගැඹුරු මට්ටම් කරා යාමට ඉතා උසස් කුසලතාවක් අවශ්‍ය බවක් ඇතැමෙකුට පෙනී යා හැක. එහෙත් සත්‍යය නම් අප සියල්ලන් ම එදිනෙදා ජීවිතයේ දී අවදි හා නිද්‍රා අවස්ථා දෙක අතර වූ නිද්‍රෝපායී නම් කලාපය ඉතා පහසුවෙන් පසු කැර යන බව යි. ඇතැම් විට නින්දෙන් අවදි වූ විගස ම, අප දුටු සිහින විචිත්‍රවත් ව සිහි කළ හැකි එහෙත් පූර්ණ වශයෙන් අවදි නො වූ අවස්ථාවක දී අප සිටින්නේ මේ නිද්‍රෝපායී අවධියේ ය. මෙය අපේ එදිනෙදා කටයුතු හා ස්මරණයන් අපේ මනස තුළට යලි පිවිසීමට මොහොතකට පෙර පවතින්නා වූ තත්වය යි. සම්මෝහ අවස්ථාව සේ ම නිද්‍රෝපායී අවධිය ද ගැඹුරු ලෙස ම නිර්මාණශීලී අවස්ථාවකි. ඒ කලාපය පසු කරත් ම මනස පූර්ණ වශයෙන් අන්තරාවර්තී වන අතර එහි දී අපට උපවිඥානයේ නිර්මාණශීලී අනුප්‍රාණයන් හසු කැර ගත හැකි ය. බොහෝ දෙනකු විසින් නිද්‍රෝපායී අවස්ථාව හඳුන්වනු ලබන්නේ සීමා මායිම් වලින් තොර “නෛසර්ගික ප්‍රතිභාවත්” අවස්ථාවක් ලෙස යි. අප විසින් ම පණවා ගනු ලබන සීමාවන් ගෙන් තොරව අපේ සියලු ශක්තීන් පරිහරණය කිරීමේ අවස්ථාව නිද්‍රෝපායී අවස්ථාවේ දී අපට ලැබේ.
තෝමස් අල්වා එඩිසන් මෙම නිද්‍රෝපායී අවස්ථාව ඉහළින් ම අගය කළා පමණක් නොව සිය නව සොයා ගැනීම් විෂයෙහි එය උපයෝගී කර ගැනීම සඳහා ඔහුට ම ආවේණික ක්‍රමයක් ද නිර්මාණය කෙළේ ය. එඩිසන්, නින්ද හා නොනින්ද අතර වූ මේ විඥානමය තත්වයට ලඟා වීම සඳහා භාවිත කෙළේ කිසියම් සැහැල්ලු වීමේ හා භාවනාමය ශිල්ප ක්රමයකි. පහසු පුටුවක හිඳගත් ඔහු යටි අතට හැරවූ සිය අත්ලේ යකඩ බෝල කිහිපයක් මිටි කර ගෙන පුටු ඇන්ද මත දෑත රඳවා ඊට යටින් ලෝහ බඳුනක් තබා ගත්තේ ය. එඩිසන් නින්දට වැටුණහොත් අත්ල ලිහිල් වී යකඩ බෝල ලෝහ බඳුනට වැටෙන අතර ඉන් නිකුත් වන හඬින් ඔහු අවදි කරවනු ලැබිණ. ඔහු මේ ක්‍රියාවලිය නො කඩවා යළි යළිත් සිදු කෙළේ ය.
No comments:
Post a Comment