Friday, March 9, 2012

පෙර ආත්මයන්හි මතක කළඹා නිදන්ගත රෝග සුව කරන හැටි

මා කරා පැමිණි බොහෝ රෝගීන් එ සේ පැමිණීමට ප්‍රථම සම්ප්‍රදායික ප්‍රතිකාර ලබාගෙන තුබූ අතර බොහෝ විට ඉන් අසාර්ථක හෝ අර්ධ සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබිණි. මේ රෝගීන්ගේ හානිකර වූ දුස්සමාහිත චර්යාවන්ගේ පුනරාර්තිත චක්‍රයන් මුළුමනින් ම බිඳ දමා, ඔවුන්ගේ රෝග ලක්ෂණ මුලිනුපුටා දැමීමට පූර්ව ජන්ම ප්‍රතිගමණ ප්‍රතිකාර ලබා දීම අත්‍යාවශ්‍ය විය.

පුනරාවර්තිත චිත්තවේගයන් පිළිබඳ සංකල්පය වලංගු එකක් බව පෙනෙයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෙ‍නකුගේ වර්තමාන ජීවිතයේ මූලාශ්‍රයන් පමණක් මතු කැර ගැනීම ප්‍රමාණවත් නොවන වග පෙනී ගියහොත් ඔහුගේ පූර්ව ජන්මයන් ද හසු වන පරිදි අතීතයේ විෂය පථය පුලුල් කැර ගත යුතු වේ. රිය පදවන අතර ස්වයං වින්දන‍යේ යෙදුණු අර තරුණයා සම්බන්ධයෙන් මට සහතික වශයෙන් කිව හැකි වූයේ, ඔහුගේ අතීත ජන්ම ඉම් පෙදෙස් ගවේෂණය කරමින් එහි ඇති ව්‍යසනකාරී චිත්තවේගයන් හඳුනාගෙන එය වර්තමාන දැනුවත් මනස වෙත රැගෙන ඒම අවශ්‍ය වූ බව යි. ව්‍යාධීවේදාත්‍මක පදනම තවමත් සැඟව පවතිද්දී රෝග ලක්ෂණයන්ගේ පුනරාවර්තනය නොවැලැක්විය හැකි එකක් විය.

ප්‍රතිගමණ චිකිත්සාව සමඟ සංයෝජනය කල සම්මෝහනය තුළින් නිදහස් සංඝටනය වැනි ‍මනෝ විශ්ලේශණාත්මක ශිල්ප ක්‍රම වලට වඩා ගැඹුරින් අවිඥානය ගවේෂණය කළ හැකි බව මම වටහා ගතිමි. නිදහස් සංඝටනයේ දී හුදෙක් සිය දෑස පියා ගන්නා රෝගියා සිටින්නේ සැහැල්ලු වූ එහෙත් මුළුමනින් ම සවිඥාණික වූ අවස්ථාවක යි. සවිඥානික මනසට අවිශය වූ මතක ගබඩාවන්ට ප්‍රවිශ්ට වෙමින් වඩාත් ගැඹුරු වූ සංඝටන ස්ථරයන් ඇසුරු කරන ප්‍රතිගමණ චිකිත්සාව තුළින් බොහෝ රෝගීන්ට වඩාත් ගැඹුරු හා විශ්මය ජනක ලෙස ඉක්මන් ප්‍රතිඵල ලැබෙයි.

පූර්ව ජන්ම ප්‍රතිගමණය තුළින් මතු කැර ගත් දෑ ඇතැම් ආකාර වලින් සමාන වන්නේ කාල් යුං විසින් විස්තර කළ බොහෝ බලසම්පන්න වූ ද විශ්වීය වූ ද මූලාකෘති (Archetypes) වලට යි. කෙසේ වෙතත් මේ පූර්ව ජන්ම ප්‍රතිගමණයෙන් මතු වූ දෑ මූලාකෘත හෝ සංකේතාත්මක නො වූ අතර ඒවා පුරාතනයේ සිට වර්තමානය දක්වා ගලා එන්නා වූ අවිච්ඡින්න මානව අනුභූතීන් ප්‍රවාහයක සැබෑ මතක කැබිලිති වූයේ ය. පූර්ව ජන්ම ප්‍රතිගමණය වූ කලී ‍ෆ්‍රොයිඩියානු ප්‍රතිකාරයන්ගේ අග්‍ර ඵලය වූ සුවකාරක භාව විරේචනයත් යුං ගේ විශිෂ්ට අනන්‍ය සංකල්පය වූ ගැඹුරු සංකේතාර්ථ හඳුනාගැනීම හා එහි සුව කිරීමේ දායකත්වය අතර වූ අනුසන්ධානයකි.

ප්‍රතිගමණ චිකිත්සාව තුළ හුදු සම්මෝහන ශිල්ප ක්‍රමයට වඩා බොහෝ වැඩි යමක් තිබේ. දක්ෂ ප්‍රතිගමණ චිකිත්සකයෙක් සිය සම්මෝහන ක්‍රියාදාමය ඇරඹීමට පෙරාතුව ‍යම් ඓතිහාසික වකවානුවක් තෝරා ගෙන ප්‍රශ්ණ කිරීමටත්, පිලිතුරු ලබා ගැනීමටත්, එහි නිශ්චිත තැන් සදා පාදා ගැනීමටත්, එහි වූ වැදගත් ඉසව් විස්තරාත්මක ව විමසීමටත් විශාල කාලයක් ගනී. මෙය ප්‍රතිගමණයේ සාර්ථකත්ව අනුපාතිකය සියයට 50 සිට සියයට 70 දක්වා ඉහළ දමයි. ප්‍රතිගමණය අවසන් වී රෝගියා සම්මෝහ නිද්‍රාවෙන් මිදුණු අනතුරු ව සැසිය තුළ දී මතු කැර ගත් තොරතුරු, ප්‍රතිවේදයන් හා භාවයන් වර්තමාන ජීවිත අවස්ථාවන් සමඟ සමෝධානය කිරීම අවශ්‍ය වේ.

මේ සමෝධානය සදහා සෑහෙන තරම් පළපුරුද්දක් ද, චිකිත්සන කුසලතාවයක් ද අවශ්‍ය වන්නේ, මෙහි දී මතු වී එන දෑ බොහෝ බල සම්පන්න මෙන් ම චිත්තවේගාත්මක ව ආරෝපිත ව ඇති බැවිනි. මේ නිසා සම්භාවිත ආයතනයකින් බලය හෝ සහතික නො ලත්, නො එසේ නම් MD, PhD, MSW හා වෙනත් එවැනි සාම්ප්‍රදායික උපාධියකින් තොර ප්‍රතිකාරකයකු විසින් මේ පූර්ව ජන්ම චිකිත්සාව සිදු කරනු ලැබීම මම නිර්දේශ නොකරමි. අතීත ස්මරණයන්ට ඊට ආවේණික වේගයෙන් මතු වී එන්නට ඉඩ සැලසීමට හෝ ඒවා නිසිලෙස සමෝධානය කරගැනීම සඳහා රෝගියකුට උදව් කිරීමට ප්‍රමාණවත් තරම් කුසලතාවයක් දැරීමට සම්භාවිත පුහුණුව නොලත් පූර්ව ජන්ම ප්‍රතිකාරකයකුට ඇති ඉඩ කඩ සීමිත ය.

එහෙත් බොහෝ අවස්ථා වල දී නිවසේ දී තමන් විසින් ම සිදු කරගන්නා වූ පූර්ව ජන්ම ප්‍රතිගමණය වඩා ප්‍රතිඵලදායී මෙන් ම ශාන්ති දායක එකක් බව පෙනෙයි. බුද්ධිමත් උපවිඥානය, සවිඥානයට ග්‍රහණය කොට ගෙන දිරවා ගත නො හැකි ස්මරණයන් ඊට ඇතුළු නොකර යි. කාංසාව, වරදකාරී හැඟීම වැනි අහිතකර රෝග ලක්ෂණ ඇති වීමේ සුළු අවදානමක් ඇතත්, අවශ්‍ය පරිදි, පුහුණුව ලත් ප්‍රතිකාරකයකු හමුවීමෙන් මේවා දුරු කැර ගත හැකි ය.

තනිව ම වැඩ කරන පුද්ගලයකු ඉතා සුළු අහිතකර ප්‍රතික්‍රියාවක දී තම ක්‍රියාව වහා ම නවතා දමනු ඇති අතර මෙහි දී උපවිඥානය මඟින් ඔහු ආරක්ෂා කරනු ලබයි. එහෙත් නුපුහුණු ප්‍රතිකාරකයකු ඇතැම් විට උපවිඥානය යටපත් කිරීමට උත්සාහ දරමින් සේවාලාභියා සූදානම් ව නො සිටි මොහොතක ඔහුට ඉදිරියට යාමට බල කළ හැකි ය.

අතිශයින්ම කාර්ය බහුල සායනික කාල සටහනක් ඇති මනෝවිද්‍යාඥයකු වූ මගේ ප්‍රමුඛතාව හිමි වන්නේ රෝගීන් සුවපත් කිරීමට විනා ඔවුන්ගේ ‍පූර්ව ජන්ම ස්මරණයන් තහවුරු කිරීමට (එ සේ කිරීම අතිශයින් ම වැදගත් වුවත්) නො වේ.

(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නොවේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු යයි යෝජනා කරමි) 

Thursday, March 1, 2012

පෙර ජන්ම පුරුද්ද නිසා ප්‍රදර්ශනකාම චර්යාවක නියැළුණු තරුණයා

කෙසේ වෙතත් මේ මුල් සියයට හතලිහට අයත් රෝගීන්ට සුවපත් වීම සඳහා පූර්ව ජන්ම කරා ප්‍රතිගමණය කිරීම අතිශයින් ම තීරණාත්මක සාධකයක් විය. මීට අවුරුදු සිය ගණනකට නොහොත් දහස් ගණනකට පෙර අත් දුටු ව්‍යසනකාරී චිත්තවේගීය කම්පනයන් නිසා ඇති වූ රෝග ලක්ෂණ සහිත රෝගීන් පූර්ණ වශයෙන් සුවපත් කිරීමට, මේ ජීවීත කාල‍යේ සීමාවන්ට කොටු වූ සාම්ප්‍රදායික ව පිළිගත් ප්‍රතිගමණ ක්‍රම අනුදත් විශිෂ්ටතම ප්‍රතිකාරකයෝ ද අසමත් වෙති. එහෙත් පූර්ව ජන්ම ප්‍රතිගමණ ශිල්ප ක්‍රම භාවිතා කරමින් යටපත් වූ දීර්ඝ කාලීන ස්මරණයන් සවිඥානයට රැගෙන ආ කළ රෝගීන් තුළ දක්නට ලැබුණු ප්‍රගතිය ක්ෂණික මෙන්ම අනපේක්ෂිත විය.

පාලනය කර ගත නොහැකි ලිංගික හැසිරීම් රටාවන් මේ පුන‍රාවර්තන බලාත්කරණ සින්ඩ්‍රෝමය සඳහා නිදසුන් සේ දැක් විය හැකි ය. මෙ වැනි පාලනය කළ නො හැකි ප්‍රදර්ශනකාම චර්යාවක නියැළුණු තරුණයකු ගැන මම දනිමි. සිය මෝටර් රථය තුළ ස්වයං වින්දනයේ යෙදෙමින් සිය ලිංගික අවයව ගැහැණුන් හට ප්‍රදර්ශනය කිරීම ඔහුගේ පුරුද්ද විය.

නිසැක වශයෙන්ම ඔහුගේ මේ පුරුද්ද භයානක සේ ම හානිකර වූ එකක් විය. මේ තරුණයා විසින් බොහෝ ගැහැණුන් කුපිත කරවනු ලැබූ අතර ඒ නිසා ම ඔහුට අත් අඩංගුවට පත් වීමට සිදු වූ අවස්ථා ද රාශියකි. එහෙත් පාලනය කර ගත නො හැකි වූ ඔහුගේ මේ හැසිරීම දිගින් දිගට ම පැවතිණ.

මෙම හැසිරීමේ මූලය සේ සැලකිය හැකි, බාල වියේ දී මේ තරුණයා හා මව අතර ඇතිවූ යම් ලිංගිකමය කාරණාවන් පිළිබඳ මතු කැර ගන්නට ඔහුගේ ප්‍රතිකාරකයාට හැකි විය. සිය පුත්‍රයා ස්නානය කරවන අවස්ථා වල දී මව විසින් සිදු කරනු ලැබූ අතපත ගෑම් නිසා දරුවාට ලිංගික ප්‍රාණවත් වීමක් සිදු විය. මේ නිසා දරුවා තුළ හටගත්තේ ප්‍රබෝධකර වූ ද, එසේම ව්‍යාකූල වූ ද ප්‍රතිවිරෝධාත්මක හැඟීම් ය. මේ හැඟීම් කෙතරම් බලවත් වී ද යත් මේ තරුණයාගේ එක් අර්ධයක් ඉහත හැඟීම් ප්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා ආශාවෙන් මේ පාලනය කළ නො හැකි පුරුද්දට යොමු වූ බව පෙනේ.

මේ මුල් චිත්තවේගයන් නිරාවරණය කර ගැනීමේ ලා ඔහුගේ විශිෂ්ට ප්‍රතිකාරකයා දැක් වූ සාර්ථකත්වය කෙ සේ වුව ද ප්‍රතිකාර වලින් ගැටළුවට විසඳුම් ලැබුණේ අර්ධ වශයෙනි. තත්වය නැවතත් පෙර තුබූ මට්ටමට ම නොයෙක් වර පහත වැටිණ. සිය චර්යාව නිසා අත් විය හැකි භයානක ප්‍රතිඵල ගැන දැන සිටියාට අමතර ව ඒ පිළිබඳ අතිශය වරදකාරී හැඟීමකින් ද ලජ්ජාවකින් ද පෙළුණත් මේ ක්‍රියාව දිගින් දිගටම කිරීමට ඔහු තුළ ඇති වන ආවේගාත්මක පෙළඹුමෙහි වෙනසක් නො වී ය.

පූර්ව ජන්ම ප්‍රතිගමණයට ලක් වූ තුන් සියයකට අධික වූ මගේ රෝගීන් හා ලද අත්දැකීම් අනුව ඉහත ප්‍රතිකාරයේ අර්ධ සාර්ථකත්වයට හේතුව ලෙස මට හැඟී ගියේ මේ තරුණයාගේ මුල් චිත්තවේගීය කම්පනය සිදුවන්නට ඇත්තේ පූර්ව ජන්මයක දී විය හැකි බව යි.

මේ සිද්ධි දාමය ඇතැම් විට පූර්ව ජන්මයන් රාශියක් පුරා ම විහිදී ගියා ‍වන්න‍ට පුළුවන. ඇතැම් විට ඔහු අත් දුටු මේ හා සමාන චිත්තවේග කම්පන මාලාවක අවසන් ජවනිකා‍ව මේ ජීවිතයේ දී දිග හැරුණා විය හැකි ය. පුනරාවර්තන රටාව ඒ වන විටත් තහවුරු වී තිබිණ. අවසාන වරට සිදු වූ කම්පනය පමණක් නොව සිදු වූ සියලු ම සිදුවීම් දැනුවත් මනස වෙත ගෙන ආ යුතුව තිබිණි. පූර්ණ සුවයක් ඉන් අනතුරුව ඔහුට අත් වනු ඇත.

මගේ බොහෝ රෝගීන් සම්මෝහ නිද්‍රාව තුළ දී සිහි කළ පරිදි විවිධ ව්‍යසනකාරී චිත්තාවේග කම්පන රටාවන් ජන්මයෙන් ජන්මයට විවිධ ස්වරූපයන්ගෙන් නැවත නැවත අත් විඳ තිබිණි. මේ රටාවන් අතර, සියවස් ගණනාවක් පුරා නැවත නැවත සිදු වෙමින් පැවත මේ ජීවිත කාලය තුළ දී යළිත් වරක් මතු වී ආ, පියා හා දුව අතර වූ අපයෝජනාත්මක සබඳතා ද ‍විය. පෙර ජන්මයක හිරිහැර පරිභව කළ ස්වාමිපුරුෂයා මෙ කල ජීවිතයේ දී ප්‍රචණ්ඩ පියා ලෙස මතු ව ආ අවස්ථා ද තිබිණ. මද්‍යලෝලිත්වය බොහෝ ජන්මයන් විපතට පත් කැර දැමූ අතර එකිනෙකට සතුරු වූ යුවලක් විසින් අනා‍වරණය කරනු ලැබූයේ පූර්ව ජන්මයන් හතරක දී ම ඔවුන් අතර අනෝන්‍ය ඝාතනාත්මක සබඳතාවන් තුබූ බව යි.