Tuesday, October 8, 2013

පුනර්ජන්ම සංකල්පය පිලිගැනීමට පුලුවන්ද?

අලුතින් මුණගැසෙන රෝගියෙක් හෝ මගේ වැඩ මුළුවකට සහභාගි වන්නෙක් නොයෙක් විට මගෙන් කරන විමසීමක් ඇත. ආචාර්ය වේස්, ඔබේ මේ පූර්ව ජන්ම ප්‍රතිගමණ ක්‍රමය අත්දකින්න මම බොහොම ආසාවෙනුයි ඉන්නේ. ‍ඒත් මේ පුනර්ජන්මය කියන සංකල්පය පිලිගැනීමේ විශාල ගැටළුවක් මට තියෙන‍වා.
ඔබටත් මෙ ලෙස සිතෙන්නේ නම් දැනගත යුතු වැදගත් කරුණ වන්නේ ඔබ හුදෙකලා වූවකු නොවන වග ය. ප්‍රතිගමණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙරාතුව මේ ගැටළුව විසඳා ගැනීමට බොහෝ දෙනකුට අවශ්‍ය වේ. එසේ කිරීම මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ පූර්වකෘත්‍යයක් වන අතර මගේ බොහෝ වැඩමුළු හා දේශනවල ප්‍රශ්ණ හා පිලිතුරු වාරයේ දී වැඩිපුර ම මතු වන පොදු මාතෘකාව ද මෙය යි. කැතරින් ඇසුරේ ලත් අතිශයින් ම අසාමාන්‍ය වූ අත්දැකීමට ප්‍රථම පුනර්ජන්ම සංකල්පය හා පූර්ව ජන්ම ප්‍රතිගමණයේ වූ සුවකාරක විභවය ගැන මා තුළ වූයේ ද සංශයකි. ඉන් අනතුරු ව මගේ විශ්වාසයන් හා අත්දැකීම් මහජන අවධානයට ලක් කිරීම සඳහා හිත හදාගැනීමට ද තවත් වසර බොහෝ ගණනක් ගත වූයේ ය.
කැතරින්ගේ ප්‍රතිකාරය, ජීවිතයේ ගති සොබාවන් හා සුවකරණයේ ගති සොබාවන් පිළිබඳ මගේ අවබෝධය විප්ලවිය ලෙස වෙනස් කළත් මේ විචක්ෂණාත්මක අත්දැකීම් පිළිබඳ අන්‍යන්ට කීමට මා පැකිළුණේ මිතුරන් හා වෘත්තීය සගයන් ‍විසින් මා උමතු වූවකු හෝ මනෝ විකාර කාරයකු ලෙස සලකතැයි යන බියෙනි.
අනෙක් අතින්, මේ ශිල්ප ක්‍රමය භාවිතා කරමින් අනෙකුත් රෝගීන්හට ද සාර්ථක ව සිදු කළ ප්‍රතිකාර නිසා පූර්ව ජන්ම ප්‍රතිගමණයේ සඵලමත් භාවය පිළිබඳ මට වැඩිදුරටත් තහවුරු වූයේ ය. මේ ගැටළුව විසඳා ගැනීම සඳහා මා තුළ වූ සංකාකූල අපහසුව දුරු කළ යුතු බව මම දැන සිටියෙමි. එබැවින් මම පොත්ගුලට වැදී මේ කරුණු සම්බන්ධයෙන් වෙනත් පර්යේෂණ කෘති පලවී ඇත්දැයි සොයන්නට විමි.
මා තුළ වූ වම් මොළධාරී සායනිකයා ගැටළුව සඳහා මෙ වැනි විසඳුමකට කැමති වූ අතර එ වැනි වලංගුකිරීමක් සැබැවින් ම පැවතිය හැකි යැයි මම ද අපේක්ෂා කෙළෙමි. මේ පූර්ව ජන්ම මතු කැර ගැනීමේ කාර්යයට මා අහඹුවකින් මෙන් පැටළුණේ යම් සේ ද සම්මෝහන ශිල්ප ක්‍රම භාවිතා කරන අන් මනෝ ප්‍රතිකාරකයකුට ද ඊට සමාන අත්දැකීම් ලැබීමේ ඉඩ කඩක් තුබූ බව මට සහතික විය. ඇතැම් විට ඉන් එක් අයකු සිය කතන්දරය ලොවට කීමට තරම් නිර්භය වන්නට ද ඉඩ තිබිණ.        
සුන් වූ අපේක්ෂා ඇති මා අවසන නතර වූයේ අතලොස්සක් වූ එහෙත් විශිෂ්ට පර්යේෂණ වාර්තා කිහිපයක් සමඟිනි. සිය පූර්ව ජන්මයන් පිළිබඳ සිහිපත් කළ හැකි වූ ළමුන් පිරිසක් පිළිබඳ විස්තර අඩංගු වූ ආචාර්ය ඉයන් ස්ටීවන්සන්ගේ ලේඛණ මේ අතර විය. මේ විස්තර අතරින් බොහොමයක් විමර්ශනාත්මක පර්යේෂණ මඟින් පසු කාලීන ව තහවුරු කැර ගන්නා ලදි. මෙය අතිශයින් ම වැදගත් වූයේ පුනර්ජන්ම සංකල්පය සාධනය කිරීම සඳහා අවශ්‍ය වලංගු භාවය ඉන් සැපයුණ හෙයිනි. එහෙත් ඉන් එහා ගිය යමක් මට සොයා ගත නොහැකි විය. පූර්ව ජන්ම ප්‍රතිගමණයේ ප්‍රතිකාරාත්මක අගය පිළිබඳ හාංකවිසියක සඳහනක් කොතැනක හෝ නො වී ය.
මා පොත්ගුලෙන් පිටතට ආවේ ඊට ඇතුළු වූ මොහොතේ සිටියාටත් වඩා දුර්මුඛ බවකිනි. කෙසේ නම් මෙබන්දක් විය හැකිද? පූර්ව ජන්ම ස්මරණය, කායික හා මානසික රෝග ලක්ෂණ රැසකට ම ප්‍රතිඵල දායක ප්‍රතිකාරාත්මක මෙවලමක් ලෙස උපන්‍යාසගත කිරීමට, මගේ ම අත්දැකිම් විසින් මට දැනටමත් ඉඩ සලසා දී තිබේ. කවර හෙයින් නම් අන් කිසිවකු සිය අත්දැකීම් වාර්තා ගත කොට නොමැත්තේ ද? සායනික සම්මෝහන ප්‍රතිකාරය අතර තුර මතු විය හැකි ව තුබූ පූර්ව ජන්ම අත්දැකීම් පිළිබඳ වෘත්තීය ප්‍රකාශන සාහිත්‍ය තුළ කිසිදු සඳහනක් නොමැත්තේ මන් ද? මේ අත්දැකීම් මට පමණක් ම ලැබීම විය නොහැක්කක් සේ පෙනිණ. සහතික වශයෙන් ම අන් ප්‍රතිකාරකයන්ට ද මෙවැන්නක් හසු විය යුතු ව තිබිණ.
ප්‍රත්‍යවේක්ෂණාත්මක ව බලන කල පෙනී යන්නේ, සැබැවින් ම මට අවශ්‍ය ව තිබුණේ මවිසින් නොපමාව සිදුකරන්නට නියමිත ව තුබූ යමක් අන් අයකු විසින් ඒ වන විටත් සිදුකොට තිබෙනු දැකීමට යි. ඒ මොහොතේ මට කළ හැකි ව තුබූ එක ම අනුමානය වූයේ අන් ‍මනෝප්‍රතිකාරකයන් ද කරලියට පැමිණෙන්නට මා තරමට ම දෙගිඩියාවෙන් පසු වූ බවයි. පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය නිමවෙත් ම, මගේ සෘජු අත්දැකීම් වල බලසම්පන්න යථාර්ථමය ස්වභාවයත්, මරණින් මතු ජීවිතය හා ගුරු ස්වාමී මාර්ගෝපදේශකයන්ගේ සම්මුඛය පිළිබඳ මගේ අදහස් හා නව ඇදහීම් පෞද්ගලිකවත්, වෘත්තීයමයවත් 'නොගැලපෙන්නේය' යන බියත් අතර මම දෙ කඩ වී සිටියෙමි.

ඉදින්, වෙනත් ශික්ෂාවකින් උපදෙස් පතන්නට මම තීරණය කෙළෙමි. හින්දු දහම හා බුදු දහම වැනි පෙරදිග සම්ප්‍රදායන් විසින් පුනර්ජන්මය සිය කේන්ද්‍රීය ඇදහිල්ලක් ලෙස වැලඳගෙන තුබූ අයුරුත්, පූර්ව ජන්ම සංකල්පය යථාර්ථයේ මූලික අංගයක් ලෙස පිලිගනු ලැබූ අයුරුත් මා උගත්තේ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ දී හැදෑරූ ආගම පිළිබඳ පාඨමාලාවේ දී ය. එ සේ ම ඉස්ලාම් සම්ප්‍රදායක් වූ සුෆී දහම තුළ පද්‍යයෙන්, නෘත්‍යයෙන් හා ගීතයෙන් සමෝපලක්ෂිත විචිත්‍ර පුනර්ජන්ම සම්ප්‍රදායක් ඇති බව ද මම දැන සිටියෙමි.

Thursday, September 26, 2013

ගුවනින් යාමට බිය වූ ව්‍යාපාරිකයා

මනා පුහුණුවක් ඇති ප්‍රතිකාරකයකු විසින් හෝ නිවසේ දී හුදකලා ව තමා විසින් ම හෝ මේ ස්මරණයන් සමඟ කටයුතු කිරීමටත් ඒවා සමෝධානය කරගැනීමටත් බොහෝ අයට කිසිදු අපහසුවකින් තොර ව පිළිවන. ඉන් අනතුරු ව ඔවුනට වඩාත් යහපත් හා සහනදායී හැඟීමක් දැනේ. අවශ්‍යයයි හැ‍ඟේ නම්, රෝගියාව සිය මරණ මංචකය මතින් පාවී යමින් එය චිත්තවේගයන්ගෙන් තොර ව නිරීක්ෂණය කිරීමට ප්‍රතිකාරකයා විසින් උපදෙස් දෙනු ලබයි. උපවිඥානික මනසට අවශ්‍ය ඕනෑ ම විටෙක දී රෝගියා ප්‍රතිගමණ අත්දැකීමෙන් මුදා ඉවතට ගැනීමට හැකි ය. ඇතැම් පුද්ගලයෝ සිය මරණ මංචක අත්දැකීම් කිසි විටෙක යළි සිහිපත් නොකිරීමට තීරණය කරති. තෝරා ගැනීම සඳහා හැම විට ම විකල්පයන් ඇත. එහෙත් පූර්ව ජන්ම ප්‍රතිගමණයේ බල සම්පන්න භාවය විසින් කිසි විටෙකත් එය අත්විඳින්නා බිය ගන්වනු නො ලබයි.

මුඛ්‍ය අවස්ථාවකින් මුඛ්‍ය අවස්ථාවකට ගලා යන්නා වූ පූර්ව ජන්ම චිකිත්සාව අතිශයින් ම ප්‍රායෝගික හා සාර්ථක විධි ක්‍රමයක් වන අතර එහි දී වර්තමාන ජන්මය හා පූර්ව ජන්මයන් අතර වූ අදාළ සබඳතාව ගොනු කර ගැනීම සඳහා පැය ගණන් ගත නොවේ. බොහෝ විට මේ සඳහා අවශ්‍ය වනුයේ පැයකටත් අඩු කාලයක් විය හැකි ය. කෙසේ වතුදු මුඛ්‍ය අවස්ථා ප්‍රවාහය සවිස්තරාත්මක ස්වභාවයෙන් මිදී සාරය මත ම පදනම් වන බැවින් සම්භාව්‍ය රටාවේ දී මෙන් තොරතුරු තහවුරු කැර ගැනීම සඳහා ඇති ඉඩ කඩ සීමිත ය. මේ රටාවන් දෙක අතරින් රෝගියකු කවරකට අනුගත‍ වේ දැයි අනාවැකි කිව නොහැකිමුත්, මේ ක්‍රමවේදයන් දෙක ම එක ලෙස ම සුවකාරක වන බව නම් නිසැකව ම කිව හැකිය.

අවසන් වශයෙන් කිව යුත්තේ සම්මෝහනය තුළ සිදු කැරෙන ප්‍රතිගමණය තුළින් පෙර ජන්මයන්හි මතක මතු කැර ගැනීම හැම දෙනාට ම කළ නොහැකි බව යි. පූර්ව ජන්ම ව්‍යසනයන් හෝ ඉන් වර්තමාන ජන්මයන්ට අදාළ වන්නා වූ වේදනා කැළැල්වල බලපෑම ලෝකයේ සෑම පුද්ගලයකුට ම සම සේ සිදු නො වේ. බොහෝ අවස්ථාවල දී රෝගියකු විසින් ඉලක්ක කළ යුත්තේ අතීතය නොව වර්තමානය යි. එතකුදු වුව මවිසින් බොහෝ රෝගීන්ට ස්වයං සම්මෝහනය හෝ භාවනා ශිල්ප ක්‍රම උගන්වනු ලබන්නේ, ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට ඉන් ලැබෙන විපුල ඵල සැලකිල්ලට ගනිමිනි.

රෝගියාට අවශ්‍ය වන්නේ, අනිද්‍රාව සුව කිරීම, අධි රුධිර පීඩනය අඩු කිරීම, බර අඩු කැර ගැනීම, දුම්පානය නතර කිරිම, ආසාදනයන්ට හා නිදන්ගත රෝගයන්ට එරෙහිව සටන්කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ක්ලමථය දුරලීම, සහනය හා අභ්‍යන්තර ශාන්තිය උදා කැර ගැනීම වැනි කවරක් හෝ වේවා ඒ සඳහා සිය ඉදිරි ජීවිත කාලය මුලුල්ලේ ම මේ ශිල්ප ක්‍රමයන් ඵලදායි ලෙසින් භාවිත කිරීමට ඔහුට අවස්ථාව සැලසේ.

තමනට අත් වන ප්‍රතිලාභ පසෙක ලා රෝගීන් විසින් සම්මෝහනය ප්‍රතික්ෂේප කරන අවස්ථා ද දක්නට ලැබෙන අතර බොහෝ විට මේ සඳහා හේතු වන සාධක ද මවිත කරවන සුළු ය.

වරක් මා යේල් වෛද්‍ය විද්‍යාලයේ නේවාසික මනෝ වෛද්‍යවරයා ලෙස සේවය කරන සමයේ, ගුවනින් යාමේ භීතිකාවකින් පෙළුණු ව්‍යාපාරිකයෙක් මා වෙත යොමු කරනු ලැබී ය. එ කල ‍ම‍ම, ඒකලක්ෂිත භීතිකාවන් හෙවත් ගුවන්ගමන්, රිය පැදවීම, සර්පයන් වැනි එක් නිශ්චිත යමක් කෙරෙහි ඇති වන භීතිකාවන් සම්මෝහන ප්‍රතිකාරය තුළින් සුව කළ හැකි යේල් ‍වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි අතලොස්සක් වූ ප්‍රතිකාරකයන් අතරින් එක් ‍අයෙක් වීමි. මේ ව්‍යාපාරිකයාගේ කටයුතු වල ස්වභාවය අනුව ඔහුට සෑහෙන තරම් ව්‍යාපාරික ගමන් බිමන් යෙදී තිබිණ. ඒ වන විට ඔහුට මේ සඳහා භාවිත කළ හැකි වූයේ භෞමික ප්‍රවාහන සේවාවන් පමණක් හෙයින් මේ භීතිකාව යටපත් කර ගැනීමේ පැහැදිලි අවශ්‍යතාවක් ද ‍ඔහුට තිබිණ.

මම ප්‍රවේශමෙන් සම්මෝහන පරිපාටියක් සැලසුම් කළෙමි. ඔහු සුව කළ හැකි බවට හා එම භීතිකාව නිසා ඔහු තවදුරටත් අසරණ නොවන බවට විශ්වාසය ද සුබවාදී බලාපොරොත්තු ද ඔහු තුළ දල්වා ලීමි. මේ සුව කිරීම නිසා ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට සිදු වන යහපතට අතිරේකව ලෝකයේ දුර ඈත පිහිටි අතිශයින් විරල, විචිත්‍ර ස්ථාන වෙත විනෝද සංචාරයේ යෙදීමට හැකි වන බව ද මම ඔහුට සහතික කොට කියා සිටියෙමි. ඔහුගේ මුළු මහත් ජීවන රටාව ද ජීවිතයේ ගුණාත්මක ස්වභාවය ද මේ නිසා අභිවෘද්ධියට පත් වනු ඇත.

ඔහු කල්පනාකාරී දුක්මුසු බවකින් යුතුව ඔරවා ගෙන සිටියේ ය. කාලය ලැසිව ගලා ගියේ ය. ඔහු මේ සම්බන්ධයෙන් මීට වඩා ප්‍රබෝධමත් නොවන්නේ මක් නිසාද ?

“බොහොම ස්තුතියි! දොස්තර මහත්මයා.” අවසන ඔහු කීය.

“මම මේ ප්‍රතිකාරය නොගෙන ඉන්නම්.”

මේ පිළිතුරෙන් මම වික්ෂිප්ත වූයෙමි. මීට පෙර මෙවන් රෝග නිමිති ඇති බොහෝ රෝගීන්ට මවිසින් සාර්ථකව ප්‍රතිකාර කරනු ලැබූ අතර කිසි විටෙක ඔවුන් විසින් මගේ සහය ප්‍රතික්ෂේප කරනු නොලැබිණ.

“ඇයි? ” මම ඇසුවෙමි. “ඇයි ඔබට සනීප වෙන්න අවශ්‍ය නැත්තෙ ? ”

“හේතුව දොස්තර මහත්තයෝ මම ඔබව විශ්වාස කරන එක යි.... ඇත්තටම ඔබ මාව සනීප කරාවි. එතකොට මට අහසින් යන්න තියෙන බය නැතිව යාවි. ඉන් පස්සෙ මොකද වෙන්නෙ... මම බය නැති ව ගිහින් අහස්යානයට නගීවි. අන්තිමට ඒක උඩට ගිහින් කඩා වැටුනා ම මට ‍යන්න වෙන්නෙ පරලෝකෙට තමා..... අනේ ඒක නැතුවාට කාරියක් නෑ. බොහොම ස්තුතියි!”

මීට එදිරි ව ප්‍රතිතර්කයන් මා වෙත නො වූ අතර හේ සිය භීතිකාව ද රැගෙන මගේ කාර්යාලයෙන් නික්ම ගියේ සුහදශීලී අයුරිනි. එහෙත් සැකයක් නැති ව ඔහු අදත් යහතින් දිවි ගෙවයි.

ඉදින්, මම මිනිස් සිත පිළිබඳ බොහෝ කාරණා ද එහි ප්‍රතිරෝධයන් හා ප්‍රතික්ෂේපයන් පිළිබඳ ව ද වඩ වඩාත් ඉගෙන ගන්නට වීමි.