අලුතින් මුණගැසෙන
රෝගියෙක් හෝ මගේ වැඩ මුළුවකට සහභාගි වන්නෙක් නොයෙක් විට මගෙන් කරන විමසීමක් ඇත. “ආචාර්ය වේස්, ඔබේ මේ පූර්ව ජන්ම ප්‍රතිගමණ
ක්‍රමය අත්දකින්න මම බොහොම ආසාවෙනුයි ඉන්නේ. ඒත් මේ පුනර්ජන්මය කියන සංකල්පය
පිලිගැනීමේ විශාල ගැටළුවක් මට තියෙනවා.”
ඔබටත් මෙ ලෙස සිතෙන්නේ
නම් දැනගත යුතු වැදගත් කරුණ වන්නේ ඔබ හුදෙකලා වූවකු නොවන වග ය. ප්‍රතිගමණ ක්‍රියාවලිය
ආරම්භ කිරීමට පෙරාතුව මේ ගැටළුව විසඳා ගැනීමට බොහෝ දෙනකුට අවශ්‍ය වේ. එසේ කිරීම මේ
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ පූර්වකෘත්‍යයක් වන අතර මගේ බොහෝ වැඩමුළු හා දේශනවල ප්‍රශ්ණ
හා පිලිතුරු වාරයේ දී වැඩිපුර ම මතු වන පොදු මාතෘකාව ද මෙය යි. කැතරින් ඇසුරේ ලත්
අතිශයින් ම අසාමාන්‍ය වූ අත්දැකීමට ප්‍රථම පුනර්ජන්ම සංකල්පය හා පූර්ව ජන්ම ප්‍රතිගමණයේ
වූ සුවකාරක විභවය ගැන මා තුළ වූයේ ද සංශයකි. ඉන් අනතුරු ව මගේ විශ්වාසයන් හා
අත්දැකීම් මහජන අවධානයට ලක් කිරීම සඳහා හිත හදාගැනීමට ද තවත් වසර බොහෝ ගණනක් ගත
වූයේ ය.
කැතරින්ගේ ප්‍රතිකාරය, ජීවිතයේ
ගති සොබාවන් හා සුවකරණයේ ගති සොබාවන් පිළිබඳ මගේ අවබෝධය විප්ලවිය ලෙස වෙනස් කළත්
මේ විචක්ෂණාත්මක අත්දැකීම් පිළිබඳ අන්‍යන්ට කීමට මා පැකිළුණේ මිතුරන් හා වෘත්තීය
සගයන් විසින් මා “උමතු” වූවකු හෝ “මනෝ
විකාර” කාරයකු ලෙස සලකතැයි යන බියෙනි.
අනෙක් අතින්, මේ ශිල්ප
ක්‍රමය භාවිතා කරමින් අනෙකුත් රෝගීන්හට ද සාර්ථක ව සිදු කළ ප්‍රතිකාර නිසා පූර්ව
ජන්ම ප්‍රතිගමණයේ සඵලමත් භාවය පිළිබඳ මට වැඩිදුරටත් තහවුරු වූයේ ය. මේ ගැටළුව
විසඳා ගැනීම සඳහා මා තුළ වූ සංකාකූල අපහසුව දුරු කළ යුතු බව මම දැන සිටියෙමි. එබැවින්
මම පොත්ගුලට වැදී මේ කරුණු සම්බන්ධයෙන් වෙනත් පර්යේෂණ කෘති පලවී ඇත්දැයි සොයන්නට
විමි.
මා තුළ වූ වම් මොළධාරී සායනිකයා
ගැටළුව සඳහා මෙ වැනි විසඳුමකට කැමති වූ අතර එ වැනි වලංගුකිරීමක් සැබැවින් ම පැවතිය
හැකි යැයි මම ද අපේක්ෂා කෙළෙමි. මේ පූර්ව ජන්ම මතු කැර ගැනීමේ කාර්යයට මා
අහඹුවකින් මෙන් පැටළුණේ යම් සේ ද සම්මෝහන ශිල්ප ක්‍රම භාවිතා කරන අන් මනෝ ප්‍රතිකාරකයකුට
ද ඊට සමාන අත්දැකීම් ලැබීමේ ඉඩ කඩක් තුබූ බව මට සහතික විය. ඇතැම් විට ඉන් එක් අයකු
සිය කතන්දරය ලොවට කීමට තරම් නිර්භය වන්නට ද ඉඩ තිබිණ.
සුන් වූ අපේක්ෂා ඇති මා
අවසන නතර වූයේ අතලොස්සක් වූ එහෙත් විශිෂ්ට පර්යේෂණ වාර්තා කිහිපයක් සමඟිනි. සිය
පූර්ව ජන්මයන් පිළිබඳ සිහිපත් කළ හැකි වූ ළමුන් පිරිසක් පිළිබඳ විස්තර අඩංගු වූ
ආචාර්ය ඉයන් ස්ටීවන්සන්ගේ ලේඛණ මේ අතර විය. මේ විස්තර අතරින් බොහොමයක් විමර්ශනාත්මක
පර්යේෂණ මඟින් පසු කාලීන ව තහවුරු කැර ගන්නා ලදි. මෙය අතිශයින් ම වැදගත් වූයේ පුනර්ජන්ම
සංකල්පය සාධනය කිරීම සඳහා අවශ්‍ය වලංගු භාවය ඉන් සැපයුණ හෙයිනි. එහෙත් ඉන් එහා ගිය
යමක් මට සොයා ගත නොහැකි විය. පූර්ව ජන්ම ප්‍රතිගමණයේ ප්‍රතිකාරාත්මක අගය පිළිබඳ
හාංකවිසියක සඳහනක් කොතැනක හෝ නො වී ය.
මා පොත්ගුලෙන් පිටතට ආවේ
ඊට ඇතුළු වූ මොහොතේ සිටියාටත් වඩා දුර්මුඛ බවකිනි. කෙසේ නම් මෙබන්දක් විය හැකිද? පූර්ව
ජන්ම ස්මරණය, කායික හා මානසික රෝග ලක්ෂණ රැසකට ම ප්‍රතිඵල දායක ප්‍රතිකාරාත්මක
මෙවලමක් ලෙස උපන්‍යාසගත කිරීමට, මගේ ම අත්දැකිම් විසින් මට දැනටමත් ඉඩ සලසා දී
තිබේ. කවර හෙයින් නම් අන් කිසිවකු සිය අත්දැකීම් වාර්තා ගත කොට නොමැත්තේ ද? සායනික
සම්මෝහන ප්‍රතිකාරය අතර තුර මතු විය හැකි ව තුබූ පූර්ව ජන්ම අත්දැකීම් පිළිබඳ
වෘත්තීය ප්‍රකාශන සාහිත්‍ය තුළ කිසිදු සඳහනක් නොමැත්තේ මන් ද? මේ අත්දැකීම් මට
පමණක් ම ලැබීම විය නොහැක්කක් සේ පෙනිණ. සහතික වශයෙන් ම අන් ප්රතිකාරකයන්ට ද
මෙවැන්නක් හසු විය යුතු ව තිබිණ.
ප්රත්යවේක්ෂණාත්මක ව
බලන කල පෙනී යන්නේ, සැබැවින් ම මට අවශ්‍ය ව තිබුණේ මවිසින් නොපමාව සිදුකරන්නට
නියමිත ව තුබූ යමක් අන් අයකු විසින් ඒ වන විටත් සිදුකොට තිබෙනු දැකීමට යි. ඒ
මොහොතේ මට කළ හැකි ව තුබූ එක ම අනුමානය වූයේ අන් මනෝප්රතිකාරකයන් ද කරලියට
පැමිණෙන්නට මා තරමට ම දෙගිඩියාවෙන් පසු වූ බවයි. පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය
නිමවෙත් ම, මගේ සෘජු අත්දැකීම් වල බලසම්පන්න යථාර්ථමය ස්වභාවයත්, මරණින් මතු
ජීවිතය හා ගුරු ස්වාමී මාර්ගෝපදේශකයන්ගේ සම්මුඛය පිළිබඳ මගේ අදහස් හා නව ඇදහීම් පෞද්ගලිකවත්,
වෘත්තීයමයවත් 'නොගැලපෙන්නේය' යන බියත් අතර මම දෙ කඩ වී සිටියෙමි.
ඉදින්, වෙනත්
ශික්ෂාවකින් උපදෙස් පතන්නට මම තීරණය කෙළෙමි. හින්දු දහම හා බුදු දහම වැනි පෙරදිග
සම්ප්‍රදායන් විසින් පුනර්ජන්මය සිය කේන්ද්‍රීය ඇදහිල්ලක් ලෙස වැලඳගෙන තුබූ
අයුරුත්, පූර්ව ජන්ම සංකල්පය යථාර්ථයේ මූලික අංගයක් ලෙස පිලිගනු ලැබූ අයුරුත් මා
උගත්තේ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ දී හැදෑරූ ආගම පිළිබඳ පාඨමාලාවේ දී ය. එ සේ ම
ඉස්ලාම් සම්ප්රදායක් වූ සුෆී දහම තුළ පද්‍යයෙන්, නෘත්‍යයෙන් හා ගීතයෙන්
සමෝපලක්ෂිත විචිත්‍ර පුනර්ජන්ම සම්ප්රදායක් ඇති බව ද මම දැන සිටියෙමි.