Thursday, October 13, 2016

ස්වර්ගය දුටු දරුවෝ

මරණාසන්න අධ්‍යනයන් පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයේ ආදි කර්තෘ හා හිටපු සභාපතිවරයා වූ ද කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයා වූ ද Life at Death (මරණය අබියස ජීවිතය) හා Heading Toward Omega (ඔමේගා බලා පිටත්වීම) යන විශිෂ්ට ග්‍රන්ථයන්හි කතුවරයා වූ ද ආචාර්ය කෙනත් රිං සමඟ ආචාර්ය මෝර්ස්, ආචාර්ය මූඩි හා මම මෑතක දී ලොස් ඇන්ජලීස් හි පැවති වෛද්‍ය සම්මන්ත්‍රණයක දේශන පැවැත්වීමු. සම්මන්ත්‍රණයේ තේමාව වූයේ මරණාසන්න හා මරණින් පසු අත්දැකීම් පිළිබඳ ව යි. එම සම්මන්ත්‍රණයේ දී කථා කළ ආචාර්ය මෝර්ස් ඔහුගේ පර්යේෂණයන්හි වාර්තා ගත වී ඇති පරිදි මරණාසන්න අත්දැකීම් ලද බොහෝ ළමුන්ට ඒ අවස්ථාවේ දී සිය ශල්‍යකර්මයකට සහභාගි වෙමින් සිටි වෛද්‍යවරුන් හා හෙදියන් අතර වූ කථා බහ ශ්‍රවණය වූ අයුරු විස්තර කෙළේ ය. නිර්වින්දනය කරනු ලැබූ මේ දරුවන් එම අවස්ථා‍වේ සිටියේ සිහි විසංඥ තත්වයක යි.

මාස නවයක් තරම් වූ වයසක දී මරණාසන්න අත්දැකීම් ලද දරුවකු ගැන ද හෙතෙම විස්තර කෙළේ ය. පසු ව වයස අවුරුදු තුනහමාරේ දී පමණ ආගමික පෙරහරක් නැරඹීමට ගිය දරුවා එහි ක්‍රිස්තුන් වහන්සේ ලෙස සැරසී සිටි අයකු දු‍ටුවේ ය.

“මේ ඉන්නේ ඇත්ත ම ජේසු නෙවේ” දරුවා විරෝධය පෑවේ ය. “මං දැක්කා ජේසු ව, මං මැරුණ වෙලාවෙ”. සිය අත්දැකීම විස්තර සහිත ව පැහැදිලි කළ දරුවා කීවේ ඈත කෙළවරේ “ආලෝකමය ලෝකයක්” සහිත වූ උමගක් දුටු බවත් එහි දී තමන්ට දෙවියන් සමඟ දුව පැන ක්‍රීඩා කිරීමට හැකි වූ බවත් ය.

“මේ තමා ඔහු දුටු ස්වර්ගය පිළිබඳ දර්ශනය” ආචාර්ය මෝස් වැඩි දුරටත් කීවේ ය. මීට අමතරව සිය මරණාසන්න අත්දැකීම් අතර තුර “යළි ඉපදීමට සිය වාරය එනතෙක් පොරොත්තුව සිටින දිව්‍යමය ආත්මයන් හමු වූ දරුවන් තිදෙනකු හෝ සිවු දෙනකු ගැන ආචාර්ය මෝස් සඳහන් කෙළේ ය. “මේක ඔවුන්ට ලොකු අපහසුවක් හිරිහැරයක් වුණා” ආචාර්ය මෝස් කිවේ ය. “මොකද මේ කාරණය ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට හා පුහුණුවට පටහැණි නිසා... එහෙත් මේ ආත්මයන් ඔවුන්ට ඇත්තෙන් ම මුණ ගැහුණා”

වරක් ආචාර්ය මූඩි “සංකටක සත්කාර වෛද්‍ය විද්‍යා සඟරාවේ” (Journal of Critical Care Medicine) පළ වූ, මරණයේ මුව විට අසලට ම ගොස් අවසන් මොහොතේ යළිත් මෙලොවට පැමිණි එක් හැවිරිදි දැරියක පිළිබඳ පවතක් මට කීවේ ය. සිද්ධියෙන් අනතුරු ව උම‍ඟක් අසලින් යන හැම විට ම, ඈ විප්‍රයෝග කංසා ලක්ෂණ ප්‍රකට කළා ය. දැරියට වයස අවුරුදු තුන හමාර පමණ කාලයේ දී ඇගේ මිත්තණිය බරපතල ලෙස රෝගාතුර වූවා ය. ඇතැම් විට මිත්තණිය මිය යාමට ද ඉඩ ඇතැයි, දැරියට සියුම් ලෙස හඟවන ලදි.

“අනේ... එතකොට අත්තම්මටත් දෙවියො දකින්න, අර මං ගියා වගේ උමග ඇතුළෙන් යන්න වේවි ද?” ඈ අවිහිංසක ලෙස ඇසුවා ය.

ආචාර්ය රිං ‍ගේ අත්දැකීම් අනුව ආගමික හැඩ ගැස්මක් හෝ පසුබිමක් තුළින් මිනිසුන් මරණාසන්න අත්දැකීම් වෙත නැඹුරු වීමේ අමුතු ප්‍රවණතාවක් නැත. සිය ඇදැහීම කවරක් හෝ වේවා ඕනෑ ම අයකුට මේ අත්දැකීම් ලැබීමේ හැකියාව තිබේ. ඔහු යළිත් තහවුරු කොට කී පරිදි මරණාසන්න අත්දැකීම් වලට මුහුණ දෙන පුද්ගලයන්ගේ මරණයට ඇති බිය දුරු වී යයි. “මරණය අසලට ම ගිය ඒත් මරණාසන්න අත්දැකීම් නො ලැබූ අයට මෙහෙම සිද්ධ වෙන්නේ නෑ” ආචාර්ය රිං කී ය. “මරණාසන්න අත්දැකීමට මුහුණ දුන්නු හැම කෙනෙක්ම පාහේ - උග්‍ර අදේවවාදීන් පවා - දෙවියන් පිළිබඳ විශ්වාසය ආයෙත් ගොඩ නඟා ගන්නවා. ඔවුන් තුළ ජීවිතය ගැන, ස්වභාව ධර්මය ගැන, පරිසරය ගැන විශාල සැලකිල්ලක් ඇති වෙනවා. තමා පිළිබඳ ඔවුන් තුළ ඇති දැඩි මතධාරී ස්වභාවය වෙනස් වෙලා අන් අය පිළිබඳ වඩාත් මෛත්‍රී සහගත ස්වභාවයක් ඇති වෙනවා. ඔවුන් බොහොම ආදරණිය පුද්ගලයන් බවට පත්වෙනවා.... ආදරය ඔවුන්ගේ ජීවිතයේ වැදගත් ස්ථානයක් අත් කර ගන්නවා.... ඒ වාගෙම ජීවිතයේ පරමාර්ථය පිළිබඳ ඔවුන්ට වඩාත් උසස් අවබෝධයක් පහළ වෙනවා.... කොටින්ම ඔවුන් වඩ වඩාත් අධ්‍යාත්මික පුද්ගලයන් බවට පත් වෙනවා.

________________________________________________________________________

(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නො වේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු ය)

Thursday, July 21, 2016

මරණාසන්න අත්දැකීම් ලැබූ කුඩා දරුවෝ

ගැලප් සමීක්ෂණයන්ට අනුව මිලියන අටකට අධික ඇමරිකානුවන් පිරිසක් මරණාසන්න අත්දැකීම් ලබා ඇති අතර බොහෝ කුඩා දරුවෝ ද මේ පිරිසට අයත් වෙති. මේ අත්දැකීම් ලැබූවන් ඒ පිළිබඳ පැවසූ විස්තර විශ්මය ජනක අයුරින් සංගත හා ඒකමිතික වන අතර ඒවා විශිෂ්ට අයුරින් ලේඛන ගත කොට තිබේ. මෙවන් අවස්ථාවල සාමාන්‍යයෙන් සිදුවන්නේ මරණාසන්නයට එළැඹෙන පුද්ගලයා සිය සිරුරෙන් මිදී, ඊට ඉහළින් පිහිටි කිසියම් ස්ථානයක රැඳී සිටිමින් තමා මරණයෙන් බේරා යළි පණ ගැන්වීමට අන්‍යයන් දරණ ප්‍රයත්නයන් නැරඹීමයි. ඉන් මොහොතකට පසු ඔහුට දීප්තිමත් ආලෝකයක් හෝ දිදුලන ශරීර ප්‍රභා ඇති ආධ්‍යාත්මික පුද්ගලයකු හෝ මිය ගිය ඥාතියකු ඈතින් පෙනෙන්නට පටන් ගනී. බොහෝ අවස්ථාවල සංගීත රාවයක් හෝ වෙනත් ශබ්දයක් ඔහුට ශ්‍රවණය වන අතර උමඟක් වැනි යමක් තුළින් ඇදී ගොස් ආලෝකය හෝ අධ්‍යාත්මික පුද්ගලයා දෙසට පාවී යනු දැනේ. අබ මල් රොනක හෝ වේදනාවක් ඔහුට නොදැනන අතර ඒ වෙනුවට අතිශය උත්කර්ෂවත් ශාන්තියක් හා ප්‍රමෝදයක්, පාවී යන විඥානය පුරා පැතිරී යයි. මේ අවස්ථාවේ දී සිය සිරුරට යළි පැමිණීමට බොහෝ අයට අවශ්‍ය නොවන අතර මෙලොව දී සම්පූර්ණ කරගත නොහැකි වූ කටයුත්තක්, යුතුකමක් හෝ ණය ගෙවීමක් ඇතොත් යළිත් සිය සිරුරට පිවිසෙන ඔවුනට වේදනාව ඇතුළු වෙනත් කායික සංවේදන දැනෙන්නට පටන් ගනී. එහෙත් අවසන සිය ජීවිතය, කායික මරණයන් අවසන් ‍නොවේ ය යන අවබෝධය ඔවුන් තුළ පහළ වන අතර ඉන් අනතුරුව යළි කිසිදිනෙක ඔවුහු මරණයට බිය නොවෙති. 

Life after life (මරණින් මතු ජීවිතය), Reflections on life after life (මරණින් මතු ජීවිතය ගැන අන්තරාවලෝකන), The light Beyond (ඔබ්බෙහි වූ ආලෝකය) යන කෘතීන්හි කීර්තිමත් කතුවරයා වූ රේමන්ඩ් මූඩි Jr., MD, Ph.D, මරණාසන්න අත්දැකීම් ලද මිනිසුන් සමඟ පැවැත්වූ දෙදහසකට අධික වූ සම්මුඛ සාකච්ඡා වලින් සමහරක් ගැන මට කියා ඇත. මේ සාකච්ඡා වලින් අනාවරණය කැර ගත් පරිදි මරණාසන්න අත්දැකීම් ලද සියල්ලන්ට පොදු අත්දැකීමක් වූයේ සිය සිරුරු මතින් පාවී යන ආකාරය යි. සිය සිරුර ට ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍යවරුන් හා හෙදියන් යමක් පවසන්නට තැත් කරද්දී එම වචන ඔවුන්ගේ මුවින් පිටවන්නට මොහොතකට පෙර ඒ කුමක්දැයි වටහා ගන්නට බොහෝ දෙනකුට හැකි විය. රෝගීන් සිය වෛද්‍යවරයාගේ හෝ හෙදියගේ උරහිස ස්පර්ශ කරන්නට තැත් කළ විට නිශ්චිත ස්වරූපයක් රහිත ඔවුනගේ දෑත් වෛද්‍ය කන්ඩායමේ ඝන සිරුරු විනිවිද ගියේය. ඒවා අතර භෞතික ස්පර්ශයක් සිදු නොවී ය.

“ඔවුන් තුළ ඉන් පස්සේ ඇතිවන්නේ ලෝකෝත්තර වූ යථාර්ථයක් පිළිබඳ සංවේදනයන්” ආචාර්ය මූඩි පැවසී ය. “ඔවුන්ගේ දෑස් වලට කිසි ම අපහසුවක් ගෙන නො දුන් අර දීප්තිමත් ආලෝකය දෙසට යන විට ඔවුන්ට දැනුනේ මුළුමනින් ම ආදරය තුළ නිමග්න වූ බවක්”

මරණාසන්න අත්දැකීම් තුළ නිරන්තර ව දක්නට ලැබෙන ලාක්ෂණික ගුණයක් වන්නේ ජීවිත ප්‍රත්‍යවේක්ෂණය යි. මෙය කාලයේ සීමාවෙන් ඔබ්බට ගොස් විචිත්‍ර වර්ණයෙන් හා ත්‍රිමාණ ස්වරූපයෙන් යුතුව ක්ෂණයකින් දෑස් ඉදිරිපිට දර්ශනය වන්නාවූ සිය ජීවිත කාලය පුරා සිදු කළ ක්‍රියාකාරකම්, චර්යාවන් හා කෘත්‍යයන් සියල්ල පිළිබඳ දර්ශන මාලාවකි. එ සේ ම මේ ජීවිත ප්‍රත්‍යවේක්ෂණය නරඹන්නා විසින් තමා උදව් කළ, රිදවූ, ආදරය කළ හෝ වෛර කළ මිනිසුන්ගේ චිත්තාවේගයන් ද ඒ මොහොතේ ම අත් විඳිනු ලබයි. ‍බොහෝ විට ප්‍රත්‍යවේක්ෂණය අතරතුර දෙවියන් බඳු වූ අධ්‍යාත්මික සත්වයෙක් හෝ කිහිප දෙනෙක් ප්‍රත්‍යවේක්ෂකයා සමඟ සහචාරී වෙති.

ආචාර්ය මූඩි ගේ පර්යේෂණවලට ප්‍රස්තුතයක් වූ එක් පූජකවරයකු සිය දේශනයන්හි දී යොදා ගත්තේ පව් කාරයන් නිරයේ ගිනිදැල් මැද දුක්විඳීම මූලික කැර ගත් ප්‍රවේශයකි. සිය ජීවිත ප්‍රත්‍යවේක්ෂණය දෑස් ඉදිරිපිට දිග හැරෙද්දී දේශකයාට සිය විජයග්‍රාහී ධර්ම දේශනා, පල්‍ලියේ බංකුව මත බයෙන් ගැහෙමින් ඊට සවන් දී සිටි නව හැවිරිදි දරුවකුගේ දෘෂ්ටිකෝණයෙන් අත්විඳීමට හැකි විය. මරණාසන්න අත්දැකීමට පෙර පූජකවරයාට මේ දරුවා සමඟ වූයේ එතරම් සමීප නොවූ ඇසුරකි. එහෙත් දැන් ඔහුට මේ දරුවා තුළ හට ගත් බිය එහි පූර්ණ තීව්‍රතාවයෙන් දැනුණ අතර සිය ධර්ම දේශණය විසින් රැස්ව සිටි බැතිමතුන් පිරිස තුළ ඇති කළ තීරණාත්මක වූ අනාධ්‍යාත්මක බල පෑම ද ප්‍රකට වන්නට විය.

ජීවිත ප්‍රත්‍යවේක්ෂණය නිරීක්ෂණය කරමින් සිටි අධ්‍යාත්මික ජීවියා සන්සුන් ව මෙ සේ කීය “මම හිතනවා ඔබ ආයෙත් එහෙම නොකරාවි කියා”

“මට හරි ම පුදුම යි දෙවියන්ට මගේ දේව ධර්මය ගැන තැකීමක් නොතිබුණ එක ගැන” පූජකවරයා ආචාර්ය මූඩිට කීවේ ය.

සියැට්ල් හි ළමා රෝග විශේෂඥයකු වූ ද, Closer to Light (ආලෝකයට සමීපයෙන්) කෘතියේ කර්තෘ වූ ද වෛද්‍ය මෙල්වින් මෝස් කුඩා දරුවන්ගේ මරණාසන්න අත්දැකීම් පිළිබඳ සිද්ධි පනහකට අධික සංඛ්‍යාවක් ඉතා විචක්ෂණ ලෙස ලේඛණ ගත කොට තිබේ. සිය සිරුරෙන් ඉවත්ව යාමත්, අභිශුන්‍ය අවකාශයකට ඇතුළු වීමත්, දිප්තිමත්, හිතමිතුරු ආලෝකයක් වෙත ඇදී යාමත් මේ දරුවන් විසින්ද විස්තර කොට තිබේ. මරණාසන්න අත්දැකීම් විසින් මේ කුඩා දරුවන් තුළ ඇති කරනු ලැබූ බලපෑම වැඩිහිටියන් තුළ ඇති වූ බලපෑම තරමට ම ගැඹුරු එමෙන් ම පරිවර්තක එකක් වූයේ ය. ජීවිතයට කිසියම් සැබෑ අරමුණක්, අභිප්‍රායක් ඇති බව ඔවුහු උගත් හ. එ සේ ම “ජීවිතයට පූජනීයත්වයෙන් බුහුමන් දක්වන්නටත් විශ්වය පුරා විසිරී ගිය සංකීර්ණ හා පැටලිලි සහගත සම්බන්ධ තාවයන් දකින්නටත්” ඔවුහු සමත් වූහ. ඔවුන් සමඟ කළ මූලික සාකච්ඡාවෙන් වසර අටකට ආසන්න කාලයක් ගෙවුණු තැන පසු විපරමක යෙදුණු වෛද්‍ය මෝස් හට පෙනී ගියේ මේ මරණාසන්න අත්දැකිම් ලද දරුවන් අතිශයින් ම පරිණත වූ යෞවනයන් බවට පත් වී ඇති අයුරු යි. ඔවුන් ගේ පවුල් සබඳතා අතිශයින් ම විශිෂ්ට මට්ටමක විය. ඔවුහු මත්ද්‍රව්‍ය සමඟ අනතුරුදායක අත්හදා බැලීම් කළ, කැරලිකාරී, ලිංගික හෝ වෙනත් චර්යාත්මක අපහරණයන්ට යොමු වූ පිරිසක් නොවූ හ.

(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නො වේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු ය)