Thursday, February 9, 2012

පූර්ව ජන්ම ප්‍රතිකාර මඟින් සුවපත් වූ මගේ රෝගීන්

කැතරින් පිළිබඳ අත්දැකීමෙන් පසු මනෝවිද්‍යාව සම්බන්ධයෙන් වූ මගේ දෘෂ්ටිය විප්ලවීය ලෙස වෙනස් වූයේ ය. මනෝව්‍යාධිමය තත්වයන් හා සුව කිරීමට මාස ගණන් අවුරුදු ගණන් ගත වූ මිල අධික ප්‍රතිකාරයන් අවශ්‍ය වූ රෝග ලක්ෂණ සඳහා පූර්ව ජන්ම ප්‍රතිගමණය වඩාත් වේගවත් වූ විසඳුමක් බැව් මට අවබෝධ විය. වේදනාවන් හා භීතිකාවන් සුව කිරීම සඳහා මෙය අතිශයින්ම සෘජු ක්‍රමයක් වූයේ ය. මේ ප්‍රතිකාර ක්‍රමය අන් රෝගීන් සඳහා ද මා විසින් අත්හදා බලන ලද අතර ඉන් හැම විට ම විශිෂ්ට ප්‍රතිඵල ලැබිණි. මා අතින් මේ කෘතිය ලියවෙන මොහොත වන විට මම සිය ගණන් රෝගීන් ඔවුන් ගේ පෞද්ගලික ප්‍රතිකාර සැසි තුළ දී පූර්ව ජන්ම ප්‍රතිගමණයට බඳුන් කොට ඇත්තෙමි. එ මෙන් කිහිප ගුණයක් දෙන මගේ කණ්ඩායම් වැඩ මුළු වල දී ප්‍රතිගමණයට ලක් වූ හ.

මගේ රෝගීන් වූවෝ කවරහු ද? වෛද්‍යවරුන්, නීතීඥයින්, ව්‍යාපාරිකයන්, මනෝ චිකිත්සකයන්, ගෘහණියන්, කම්කරුවන්, අලෙවිකරුවන් ආදී ‍බොහෝ දෙනෙක් ඒ අතර වූ හ. ඔවුහු වෙනස් ආගම්, වෙනස් සමාජ ආර්ථික මට්ටම්, වෙනස් අධ්‍යාපනික පසුතලයන් හා වෙනස් ඇදැහීම් පද්ධති වලින් යුතු නානාංගකෘත පිරිසක් විය. එතෙකුදු වුව ඉන් බොහෝ දෙනෙකුට සිය පූර්ව ජන්මයන් පිළිබඳ සවිස්තරව සිහිපත් කළ හැකි වූ අතර තවත් බොහෝ දෙ‍නකුට කායික මරණය ඉක්මවා ගිය අවිච්ඡින්න පැවැත්මක මතකයන් ශේෂ ව තිබිණ.

මගේ රෝගීන් ගෙන් බහුතරයක් දෙනා පූර්ව ජන්ම ප්‍රතිගමණ අත් දැකීම ලැබුවේ සම්මෝහ නිද්‍රාව තුළිනි. ඇතැමුන්ට භාවනාව තුළින් ද, ස්වයං සිද්ධ ව ද පූර්ව ජන්මයන් පිළිබඳ ස්මරණයන් ගලා ආවේ විචිත්‍ර සුවිෂද සිහිනයන්, පෙර දුටු හුරුව (Déjà Vu) හෝ වෙනත් එ වැනි ස්වරූපයන් ගෙනි.

ඔවුන් බොහෝ දෙනකුට මෙ මඟින් සිය නිදන් ගත හා යාව ජීව රෝග ලක්ෂණයන් වූ භීතිකාවන්, සන්ත්‍රාසක ප්‍රහාර, පුනරාවර්තිත නපුරු සිහින, අහේතුක බිය, තරබාරු කම, නිරන්තර ව බිඳ වැටෙන සබඳතා, කායික වේදනාවන් හා රෝගී තත්වයන් වැනි අපහසුතා වලින් මුළුමනින් ම මිදීමට හැකි වූයේ ය.

එහෙත් මෙය ප්ලැසිබෝ ප්‍රතිඵලයක් (ඖෂධයක් සේ පෙනෙන ව්‍යාජ පෙත්තක් මඟින් මානසිකව රෝග සුව කිරීම) නො වී ය. මේ මිනිස්සු ලෙහෙසියෙන් රැවටෙන සුළු හෝ නම්මා ගත හැකි පිරිසක් නො වූ හ. ඔවුන්ට සිය පූර්ව ජන්මයන් හි නම්, දින වකවානු, භූගෝලීය ලක්ෂණ ආදිය සවිස්තරව මතක තිබිණි. එ සේ ම පූර්ව ජන්මයන් සිහිපත් වීමෙන් අනතුරු ව ඔවුහු කැතරින් සේ ම සුවපත් වූ හ.

කායික හා චිත්තාවේගික රෝග ලක්ෂණයන් සුවපත් වීමට වඩා වැදගත් වූයේ අපගේ සිරුරු මිය ගිය ද අප නොමියෙන බවට ලත් දැනුමයි. අපි අමරණීය වෙමු. කායික මරණය අභිබවා අපි නො නැසී පවතින්නෙමු.

“කාල තරණයෙන් සුවයට” යන මේ කෘතිය තුළ මා පෙළ ගස්වන්නේ Many Lives, Many Masters කෘතිය ලියා පළ කළ තැන් පටන් පූර්ව ජන්ම ප්‍රතිගමණය තුළ වූ සුව කිරීමේ විභවය පිළිබඳ මා උගත් පාඩම් ය. මේ සිද්ධි අධ්‍යයනයන් සියල්ල ම සත්‍ය ඒවා වන අතර පුද්ගලයන් ගේ නම් සහ ඔවුන් ගේ අනන්‍යතාව හෙළි විය හැකි තොරතුරු පමණක් වෙනස් කොට දක්වා ඇත.

3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ඉහත කමෙන්ට් දෙකම spam එකකි. නිකමා ලෙස කමෙනට් එක දමා ඇත්තේද ඔහුමය.(පලවෙනි කමෙන්ටුවේන් වෙබ් ලිපිනය ලෙස තමාගේ වෙබ් අඩවියත් දෙවන කමෙන්ටුවෙට තමාගේ Facebook අඩවියේ ලිපිනයත් ඇතුලත් කිරීමෙන් ඒබව ඔප්පුවේ) ඔහු මෙය කරන්නෙ තමාගේ වෙබ් අඩවියට පිවිසෙන පිරිස වැඩි කරගනීමට විය යුතුය. ඉහත කමෙන්ට් දෙකම ඉවත් කරන්න හැකිනම් අගෙයි.

    ReplyDelete