Monday, February 20, 2012

මෝහ‍නය අනතුරුදායකද?

මේ නිද්‍රෝපායී අවස්ථාව සම්මෝහ නිද්‍රාවට අතිශයින් සමාන වන අතර සැබැවින් ම බොහෝ සම්මෝහ මට්ටම් වලට ද වඩා ගැඹුරු වේ. සිය මනසේ වඩාත් ගැඹුරු මට්ටම් වලට ප්‍රවේශ වීමට රෝගියාට සහාය වීය හැකි තරම් කුසලතාවයෙන් හෙබි සම්මෝහ ශිල්ප ක්‍රම උගත් ප්‍රතිකාරකයකුට සුවපත් කිරීමේ ක්‍රියාවලිය විස්මය ජනක ලෙස වේගවත් කළ හැකි ය. මෙහි දී පහල වන නිර්මාණශීලී අදහස් හා විසඳුම්, පෞද්ගලික ගැටළු විසඳීමේ සීමාවෙන් ඔබ්බට විහිදෙත් ම ඉන් ජන සමාජයේ විශාල කොටසකට ඉන් ප්‍රතිලාභ අත් විය හැකි ය; එඩිසන්ගේ විදුලි බල්බය සොයා ගැනීම තුළින් අප හැමට ම යහපතක් අත් වූවාක් මෙනි. මේ ක්‍රියාවලියට මුළු ලෝකය ම විජයග්‍රහණය කළ හැකි ය.

චිත්ත ඒකාග්‍රතාව ඉලක්ක ගත කිරීමට මෙන් ම ගැඹුරු සම්මෝහ මට්ටමකට ප්‍රවේශ වීමට හා සැහැල්ලු බවකට පත් වීම සඳහා කිසිවකුගේ මාර්ගෝපදේශී හඬ රෝගියාට උදව් වෙයි. මෝහ‍නයේ කිසි දු අනතුරුදායක බවක් නොමැත. මේ දක්වා මා විසින් මෝහනයට ලක් කරන ලද කිසිවකු සම්මෝහ නිද්‍රාව තුළ සිර වීමක් සිදු නො වී ය. කැමති විටෙක දී එම සම්මෝහන තත්වයෙන් මිදීමට ඔබට හැකි ය.

මෝහනය තුළ දී කිසිවෙක් තම සදාචාරාත්මක සීමාවන් හෝ ආචාර ධර්ම සිද්ධාන්තයන් කිසිදාක උල්ලංඝනය නොකර යි. හඬ ගසනු ලැබූ කුකුලකු හෝ තාරාවකු මෙන් කිසිවකු එහි දී ස්වච්ඡන්දතාවයෙන් තොර ව ක්‍රියා කරන්නේ නැත. කිසිවකුගේ අණසකට ඔබ නතු ‍නො වේ. පූර්ණ වශයෙන් ම පාලනය ඇත්තේ ඔබ සතුව යි.

සම්මෝහ නිද්‍රාවේ දී ඔබේ මනස නිරන්තර දැනුවත් භාවයේ සිටිමින් සියල්ල නිරීක්ෂණය කරයි. ගැඹුරු සම්මෝහ මට්ටමක හිඳිමින් සිය ළමා වියේ හෝ පූර්ව ජන්ම ස්මරණ අනුක්‍රමණයන් හා සක්‍රිය ව සම්බන්ධ වූ අයකුට, ප්‍රතිකාරකයාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දිය හැක්කේත්, ඔහුගේ වර්තමාන ජන්මයේ භාෂාව කථා කළ හැක්කේත්, තමා දකින භූගෝලීය ප්‍රදේශ හඳුනා ගත හැක්කේත්, මනස මත දර්ශනය වන්නා වූ හෝ අභ්‍යන්තර ඇස ඉදිරිපිට ප්‍රතිබිම්බනය වන්නා වූ අතීත වර්ෂ හඳුනා ගත හැක්කේත් මේ නිසා ය. මෝහනය වූ මනස වර්තමානය පිලිබඳ දැනුම හා දැනුවත් භාවය පවත්වා ගනිමින් ම ළමා වියේ හෝ පූර්ව ජන්මන්හි ස්මරණයන් එම සන්දර්භය තුළට වැද්ද ගනී. ප්‍රතිබිම්බනය වන වර්ෂය 1900 නම් හා ඔබ පෞරාණික මිසරයේ පිරමිඩ තනමින් සිටී නම් එම වර්ෂය ක්‍රිස්තු පූර්ව බව ඔබ හඳුනාගන්නේ ඊට අදාළ අක්ෂරයන් (ක්‍රි.පූ) පවා නො දකිමිනි.

නිදර්ශනයක් වශයෙන් තමා මධ්‍ය කාලීන යුරෝපයේ යුද්ධයකට මැදිව සටන් කරන ගොවියකු සේ දකින සම්මෝහ නිද්‍රාවට පත් රෝගියකුට සිය වර්තමාන ජීවිතයේ දන්නා හඳුනන පුද්ගලයන් පූර්ව ජන්මයේ දී ක‍වරෙක් ව සිටියේ දැයි හඳුනා ගත හැක්කේ ද මේ හේතුව නිසා ය. ඔහුට නූතන ඉංග්‍රීසි බස කථාකළ හැක්කේ ද, පෞරාණික ජන්මයේ දී දකින දළ අවි ආයුධ, වර්තමානයේ ඔහු දැක ඇති නවීන ඒවා සමඟ සැසඳිය හැක්කේ ද, කාල වකවානු සඳහන් කළ හැක්කේ ද එ හෙයිනි.

ඔහුගේ වර්තමාන මනස දැනුවත් අවදියෙන් යුතුව සියල්ල නරඹමින් ද, විචාරයෙහි යෙදෙමින් ද සිටී. තමා දකින සියලු විස්තර ද, සිදුවීම් ද, වර්තමාන ජීවිතයේ වූ එ වැනි දෑ සමඟ ඔහුට සංසන්දනය කළ හැකි ය. ඔහු තමා දකින සිනමා පටයේ නරඹන්නා ද, විචාරකයා ද පමණක් නොව ඒ මොහොතේ දී ම එහි ප්‍රධාන නළු‍වා ද වෙයි. ඒ සම්පුර්ණ කාලය පුරා ම ඔහුට සැහැල්ලු භාවයේ ද සම්මෝහ නිද්‍රාවේ ද රැඳී සිටිය හැකි ය.

සිය උපවිඥානමය මනසට ප්‍රවිශ්ට වීමට රෝගියාට ඉඩ සලසන සම්මෝහ නිද්‍රාව, සුවපත් වීමේ විභවයක් ඇති විඥානමය අවස්ථාවකට ඔහු පමුණුවයි. රූපකාර්ථවත් ව කිවහොත් එ මඟින් රෝගියා මහෞෂධීය වෘක්ෂයන්ගෙන් යුතු ඉන්ද්‍රජාලමය වනාන්තරයකට රැගෙන යනු ලබයි. සුවපත් වීමේ දේශයට රෝගියා රැගෙන යන්නේ මෝහනය නම් සුවපත් වීම සඳහා ඔහු අනුභව කළ යුතු මායා ඵලයන් දරන වෘක්ෂය වන්නේ ප්‍රතිගමණය යි.

4 comments:

  1. ඔය මෝහනය මගින් ලබාගන්නා තොරතුරු නිවැරදි ද..?

    ReplyDelete
  2. මෝහනය කියන්නෙ නිකන් රැවටීමක් කියලා සමහරු කියන්නේ,,,,

    වර්ඩ් වැලිඩිෆිකේශන් අයින් කරන්න

    ReplyDelete
  3. මෝහනයෙන් කෙරෙන්නේ සිය මතකය අවදි කිරීමක් පමනි. මෝහනය වූ විට වෙන කිසිවෙක් ඔබ මෙහෙයවන්නේ නැත. ඔබේම මතකයට නැගෙන දේවල් පමණක් ඔබට සිහි වෙයි. මෙයින් මතකය රඳා පවතින්නේ මොලයේ යන මතය නිකම්ම නිශ්ප්‍රභා වී යයි. මහාචාර්‍ය බ්‍රයන් වයිස් මහතා විසින් පුහුණු කරන ලද කෙනෙක් විසින් දැනට වසර දෙකකට පමණ පෙර මා මෝහනයට භාජනය කර විය. වර්ශ 1043 දක්වා පැහැදිලිවම මම අතීතයට ගියෙමි. මගේ මේ භවයේ පියා අතීත භව ගනනාවකදීම මගේ පියා වී සිටි බව මම දැන ගත්තෙමි. භාවනා මගින් ප්‍රඥාව දියුනු කිරීමෙන් පුබ්බෙ නිවාසානුස්සති ඥාණය පහල වෙන්නේත් මෙලෙසම බව එයින් දැනෙයි.

    ReplyDelete
  4. මෝහනය ඇත්ත තත්ත්වය ගැන මේ තරම් පැහැදිලි විස්තරයක් දැන ගත්තේ අදමයි... මම මේ ලිපි පෙළ එක හුස්මට අද කියෙව්වා....
    ඔබට ගොඩාක්ම ස්තුතියි මේ ලිපි පෙළ ගෙන ඒම ගැන... කමෙන්ට් දැමීමෙන් ලිපියට හවුල් වෙන සරත් ගුණතුංග මත්තයාටත් ස්තුතිවන්ත වෙනවා... මේ ලිපි පෙල නවත්වන්නේ නැතුව දිගටම ලියාගෙන යන්න ඔබට හැකිවේවා කියල පතනවා....

    ReplyDelete