Tuesday, April 17, 2012

ඊජිප්තුවේ දෙවියන් අතර පූර්ව ජන්ම ස්මරණ

හැතෝර් මිසර දෙවඟන 
මා විසින් හඳුනා ගත් පරිදි රෝගීන් සිය සැබෑ පූර්ව ජන්ම ස්මරණයන් වෙත ප්‍රවේශ වන්නාවූ හා ඒවා විස්තර කරන්නා වූ ප්‍රධාන රටා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න මා නම් කරන්නේ සම්භාව්‍ය රටාව ලෙස යි. සම්භාව්‍ය රටාවේ දී කිසියම් ජන්මයක් වෙත ප්‍රවිශ්ට වන රෝගියාව ඒ ජීවිතය පිළිබඳ මෙන් ම එහි දී අත්විඳි සිදුවීම් පිළිබඳ පරිපූර්ණ විස්තරයක් සැපයිය හැකි ය. බොහෝ විට මෙය උපතින් හෝ ළමා වියෙන් ඇරඹී මරණය දක්වා අවිච්ඡින්න ව මුළු ජීවිත කාලය ම ආවරණය කරමින් කතන්දරයක් සේ ගලා යයි. මෙහිදි රෝගියා ශාන්ත ව හා වේදනාවෙන් තොර ව සිය මරණ මංචකයේ අත්දැකීමට හා ජිවිත ප්‍රත්‍යෙක්ෂණයට මුහුණ පානු දක්නට ලැබේ. මේ ජීවිත ප්‍රත්‍යෙක්ෂණය තුළ එම ජීවිත කාලය තුළ උගත් පාඩම් මතු කොට දක්වා ඔහුගේ උසස් ප්‍රඥාවේ වර්ධනයට හේතු වන පරිදි ඒ‍වා සංවාදයට ලක් කරනු ලබන අතර බොහෝ විට මෙය සිදුවන්නේ යම් ආගමික වූ චරිතයක් හෝ ඔහුගේ ආධ්‍යත්මික මාර්ගෝපදේශකයන් (ඉෂ්ට දේවතාවන්) අතිනි.
කැතරින්ගේ බොහෝ ජන්මයන් මතු කැර ගැනුණේ සම්භාව්‍ය ප්‍රතිගමණ රටාව අනුසාරයෙනි. පහත දැක්වෙන්නේ එවන් එක් අවස්ථාවක් වූ ජලාශ්‍රිත ව පැතිරී ගිය වසංගතයක් විසින් සිය පියා ද, සහෝදරයා ද බිලිගනු ලැබූ පෞරාණික මිසරය (ඊජිප්තුව) සේ පෙනී ගිය ජන්මයක් මතු කැර ගැනීමේ අවස්ථාවෙන් ගත් උපුටනයකි. භූමදානය සඳහා මළ සිරුරු සකස් කළ පූජකයන් සමඟ ඈ ද වැඩ කළාය. ස්මරණයන් ආරම්භ වන මොහොතේ දී මෙන් ම උපුටනයේ සඳහන් වන මොහොතේ දී ඇගේ වයස අවරුදු දහසයක් විය:
මිනිසුන්ව ගල්ගුහාවලට ගෙනිහින් දැම්මා. සිරුරු තිබුණෙ ගුහා ඇතුළේ... ඒත් මුලින්ම ඒ සිරුරු වෙළුම් පටි වලින් ඔතල, බෙහෙත් ගල්වලා පූජකයන් විසින් සකස් කළා. ඒවා තිබුණෙ ගුහා ඇතුළේ. එලියෙ ජලගැල්මක් ඇති වෙලා තිබුණා.... ඔවුන් කියනවා වතුර අපවිත්‍ර බවත් ඒවා නොබොන ලෙසත්...
මේකට ප්‍රතිකාරයක් නැද්ද ? මොකක් හරි ක්‍රමයක් වැඩ කළේ නැද්ද?
අපට ලැබුණා කැලෑ ඖෂධ... එක එක වර්ගයේ... සුවඳ... කැලෑ ඖෂධ වල... සුවඳ බලන්න... මට ඒ සුවඳ දැනෙනවා...
ඔබට පුළුවන් ද ඒ සුවඳ හඳුනා ගන්න?
ඒවා සුදුපාට යි... සී‍ලිමේ ඉඳල පහළට එල්ලෙනවා
ඒවා සුදු ළූණු වාගේ ද?
ගතිගුණ සමාන යි වගේ... ඒවා ‍වටේටම එල්ලලා... හැම තැන ම ඔබලා... කටේ... කන් වල... නහයේ... හැම තැනම. සුවඳ හරිම සැරයි... විශ්වාසයක් තියෙනවා මේකෙන් දුෂ්ට ආත්මයන් ඔබේ ඇඟට ඇතුළු වෙන එක වළක්වනවයි කියල. දම් පාට... මට පේනවා දම් පාට වැස්මක් තියෙන පලතුරක් වැනි ගෝලාකාර යමක්.... දම් පාට ලෙල්ලක් තියෙනවා.
දම්පාට... පලතුරක් ද ? වෙනත් යමක් ද?
ටැනිස්
ඒකෙන් පලක් ලැබුණද? ඒක අර රෝගය සඳහා ද පාවිච්චි කළේ?
ඒ වෙලාවෙ එහෙම තමයි කළේ
ටැනිස් ප්‍රතිරාවය කරමින් මම ඈ සඳහන් කළේ ටැනින් හෝ ටැනික් අම්ලය ගැනවත් දෝ යි වටහා ගන්නට උත්සාහ ‍කෙළෙමි.
ඔය ජීවිත කාලයෙන් ඇවිදින් ඔබේ මේ ජීවිතය තුළ හැංඟිලා තියෙන්නෙ මොකක්ද? ඇයි ඔබ මෙලොවට නැවත නැවතත් පැමිණියේ? ඔබට මේ අපහසුතාවයක් ඇති කරන දේ මොකක්ද?
ආගම කෙඳිරීමක් වුව කැතරින්ගේ පිලිතුර ක්ෂණික ආවේය. කාලයේ තිබුණු ආගම... ඒක බය පිළිබඳ ආගමක්... බය... ඒකෙ බය වෙන්ට බොහො දේවල් තිබුණා... වාගෙම දෙවියනුත් බොහොම දෙනෙක්...
දෙවිවරුන්ගේ නම් ඔබට මතක ද?
මට පේනවා ඇස්... මට පේනවා කළු පාට... යම් දෙයක්... හරියට හිවලෙක් වාගෙ... ඒක ප්‍රතිමාවක්... යම් විදිහක ආරක්ෂකයෙක්... මට පේනවා කාන්තාවක්, දේවතාවියක්... ඇගේ හිසේ තියෙනවා පලඳනාවක්
ඔබ ඇයගේ නම දන්නව ද ? මේ දේවතාවියගෙ?
ඔසිරිස්... සිරස්... අන්න වාගෙ නමක්... මට පේනවා ඇහැක්... නිකම් ඇහැක් විතර ම යි... දම්වැලක් උඩ තියෙන ඇහැක්... ඒක රත්තරන් වලින් හදල තියෙන්නෙ
ඇහැක්?
ඔව්... හැතෝර්... කවුද ඒ?
මම ඔසිරිස් ගැන දැන සිටියත් හැතෝර් යන්නකු ගැන දැන නො සිටියෙමි. කැතරින්ගේ උච්චාරණය නිවැරදි නම් ඔසිරිස් යනු අයිසිස් ගේ භාතෘ - ස්වාමියා වූ පළමු පෙලේ මිසර දෙවියෙක් වූයේ ය. මා පසු ව දැනගත් පරිදි හැතෝර් යනු ආලය, ප්‍රමෝදය හා ප්‍රහර්ශයට අධිපති මිසර දෙවඟන වූවා ය.
දෙවියෙක්ද? මම ඇසීමි.
හැතෝර්! හැතෝර් ඉන් අනතුරුව වූයේ දීර්ඝ නිහැඬියාවකි මෙන්න කුරුල්ලෙක්... ඔහු පැතලි යි... පැතලි ෆීනික්ස් කුරුල්ලෙක්... අනතුරු ව නැවතත් නිහඬ වූවා ය.
දැන් කාලය දිගේ ඉදිරියට ගිහින් ඔය ජීවිත කාලයේ ඔබේ අවසන් දවසට යන්න. අවසන් දවසට යන්න. හැබැයි ඔබ මැරෙන මොහොතට කලින්... මට කියන්න දැන් ඔබට පේන්නෙ මොනවද කියලා.
පිළිතුරු දුන්නේ බෙහෙවින් ම දුර්වල වූ කෙඳිරියකිනි. මට පේනවා මිනිස්සු යි, ගොඩනැගිලි යි... මට පේනවා සෙරෙප්පු... පටි සෙරෙප්පු. එතන ගොරෝසු රෙද්දක් තියෙනවා මොනවා හරි ජාතියක ගොරෝසු රෙද්දක්
මොකක්ද සිද්ධ වෙන්නෙ ? දැන් යන්න ඔබ මැරෙන මොහොතට. ඔබට මොකද වෙන්නෙ? ඔබට ඒක පේනවා
මට ඒක පේන්නෙ නැහැ මට තව දුරටත් මාව පේන්නෙ නැහැ.
ඔබ කොහේද ඉන්නෙ? ඔබට මොනවද පෙනෙන්නෙ?
මුකුත් නැහැ... නිකම් අන්ධකාරය විතර යි... ඔන්න මට පේනවා ආලෝකයක්, හරිම උණුසුම් ආලෝකයක්. ඒ වන විටත් මිය ගොස් සිටි අතර කිසියම් ආධ්‍යාත්මික තලයකට පිවිසෙමින් සිටියා ය. පෙනී ගිය ආකාරයට සිය සැබෑ මරණය නැවත වතාවක් අත්විඳින්නට ඈට අවශ්‍ය නො වූ සෙයකි.
ඔබට මේ ආලෝකය දිහාවට යන්න පුළුවන් ද ?
මම යමිනුයි ඉන්නෙ. ශාන්ත ලෙස ඉසුඹුවකට පත් වෙමින් නැවතත් නිසල වූවා ය.
ඔබට ආපසු හැරී ජීවිතයේ දී ඔබ ඉගෙන ගත් පාඩම් දිහා බලන්න පුළුවන් ද? ඔබට තව ම ඒවා ගැන දැනීමක් තියෙනවා ද ?
නැහැ කෙඳිරුවා ය.
ඕ නිහඬ ව මඳ වේලාවක් සිටියා ය. දෑස තවමත් පියැවී තිබිය දී ම ඇගේ අවධානය කිසිවක් වෙත යොමු වන සෙයක් පෙනිණ. ඇගේ කට හඬ පෙරට වඩා උස් විය.


(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නො වේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු ය) 

3 comments:

  1. නියම වැඩක්...!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔබ තුමාට මේ සම්බන්දයෙන් ලිපි ලිවිම තුලින් අපිව දැනුවත් කිරීමට දරන උත්සාහයට. ඔන්න බ්ලොග් තුනම ෆලෝ කළා. මමත් මේ වගේ කාරනා සම්බන්දයෙන් උනන්දුවක් දක්වනවා. එඩ්ගා කේසිගේ කියවීම් තුලත් තියෙන්නේ මේ වගේ කාරණාවන් නේද? මමත් ලියාගන යනවා මේ දවස් වල කුණ්ඩලිනි සම්බන්ධ ලිපි පෙළක් . ඔබ තුමා වගේ කෙනෙක්ගේ අදහසුත් ලැබුනොත් ඒක සාර්ථක කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ජය වේවා

    ReplyDelete