Thursday, April 2, 2015

වෙනත් ආගම් වල සඳහන් වන පුනර්ජන්මය

බටහිර ආගම් වල වසර දහස් ගණනක් වූ ඉතිහාසය පුරා කවරකු හෝ විසින් මා ලද අයුරේ අත්දැකීමක් පිළිබඳ ලේඛන ගතකොට නො තිබීම මට කෙසේවත් ඇදහිය හැක්කක් නො වී ය. මෙවන් දැනුමක් ලද පළමුවැන්නා මා විය හැකි ද? ම විසින් පසු ව සොයා ගනු ලැබූ පරිදි බොහෝ ගැඹුරට ප්‍රශාඛා විහිදී ගිය පුනර්ජන්මය පිළිබඳ විශ්වාස‍යේ මූලයන් යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් තුළ ද ඇත. පුනර්ජන්මය පිළිබඳ මූලික ඇදහීමක් වූ ගිල්ගුල් සංකල්පය වසර දහස්ගණනක් මුළු‍ල්ලේ යුදෙව් ද‍හම (Judaism) තුළ පැවැත ආවකි. බටහිර විද්‍යාත්මක සංස්ථාපනය විසින් රූපාන්තරණය කළ නැගෙනහිර යුරෝපීය යුදෙව් ප්‍රජාව විසින් පිලිගනු ලැබීම සඳහා 1800-1850 දී පමණ යුදෙව් දහම නවීකරණයට බඳුන් වන තුරු ම මේ ඇදහීම එහි මූලික ප්‍රතිෂ්ටාවක් ව පැවතිණ. කෙසේ වතුදු, සියවස් තුනකට එපිට දී පුනර්ජන්මය පිළිබඳ ඇදහීම ප්‍රධාන ධාරාවට අයත් වූ මූලික සංකල්පයක් වූ බව පෙනේ. ඕතොඩොක්ස් හා චැසිඩියානු ප්‍රජාවන් තුළ පුනර්ජන්මය පිළිබඳ ඇදහීම අද දක්වා ම අවිච්ඡින්නව පවතී. වසර දහස් ගණනක් ඈත එපිටට දිව යන ගුප්ත යුදෙව් සාහිත්‍යයක් වූ “කබාලා” පුනර්ජන්මය පිළිබඳ සමුද්දේශයන්ගෙන් පිරී ඇත. පසුගිය ශත වර්ෂ ගණනාව තුළ ලොව පහළ වූ ‍විශිෂ්ටතම යුදෙව් පඬිවරයකු වූ රබ්බි මෝෂේ චේම් ලූසාට්ටෝ සිය “දෙවියන්ගේ මාවත” කෘතියේදී “ගිල්ගුල්” හි අර්ථය මෙ සේ සම්පිණ්ඩනය කර යි.

“එක් ආත්මයක් බොහෝ වතාවක් බොහෝ ශරීරයන්හි පුනර්ජන්මය ලබන අතර ඒ හේතුවෙන් පෙර භවයන්හි දී ඊට සිදු වූ හානි ප්‍රකෘතිමත් කර ගත හැකි වේ. එසේ ම පෙර අත්බවයන්හි නොලද පරිපූර්ණ භාවය අත් කැර ගැනීමට ද ඊට පිළිවන.”

ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ කළ පර්යේෂණයේ දී මා සොයාගත්තේ, එය රෝමානු අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් වූ හතරවන ශත වර්ෂයේ දී නව තෙස්තමේන්තුවේ තුබූ පුනර්ජන්මය පිළිබඳ සැඳැහුම් සියල්ල කොන්ස්ටන්ටයින් අධිරාජයා විසින් කටු ගා දැමූ බව යි. පුනර්ජන්මය පිළිබඳ සංකල්පය මඟින් අධිරාජ්‍යයේ ස්ථාවර භාවය තර්ජනයට ලක්වෙතැයි අධිරාජ්‍යයා සැක ඉපිද වූ බැව් පෙනේ. තමන්ට ජීවත් වීම සඳහා තවත් අවස්ථාවක් ඇතැයි සිතන පුරවැසියන් එක් අවසාන විනිශ්චය දිනයක් විශ්වාස කරන පුරවැසියන්ට වඩා අඩු යටහත් බවක් හා නීතිගරුක බවක් දැක්වීමට ඉඩ කඩ ඇත.

හවන සියවසේ දී කොන්ස්තන්තිනෝපල් හි දෙවන කවුන්සලය මඟින් පුනර්ජන්මය මිත්‍යා ලබ්ධියක් ලෙස නිලවශයෙන් ප්‍රකාශ කිරීම තුළින් කොන්ස්ටන්ටයින් ගේ ක්‍රියාව වඩාත් අවධාරණයකට ලක් කැරිණ. පූර්ව ජන්මයන් පිළිබඳ සංකල්පය නිසා බැතිමතුන්ට සිය ගැලවීම සඳහා වැඩිමනත් කල් ලැබෙන හෙයින් නැගී එන සිය බලය ඉන් පසුබෑමකට ලක් වෙතැයි කොන්ස්ටන්ටයින් සේ ම පල්ලිය ද බිය වූ සෙයකි. අවසාන විනිශ්චය නමැති කසය, මිනිසුන්ගේ නිසි ආකල්ප හා විනය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වේ ය යන්න ඔවුන් ගේ නිගමනය විය.

කොන්ස්තන්තිනෝපල් හි දෙවන කවුන්සිලය දක්වා විහිදුණ මුල් ක්‍රිස්තියානි යුගයේ දී ඔරිජෙන්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් හා ශාන්ත ජෙරොම් වැනි වෙනත් නිකායන්හි පියවරු පුනර්ජන්මය විශ්වාස කළහ. ඥෙය වාදය හෙවත් පාරලෞකික දෑ පිළිබඳ විශ්වාසයද එ සේ ම විය. දොලොස්වන සියවසේ අග භාගය තරම් මෑතක දීත් ඉතාලියේ හා දකුණු දිය ප්‍රංශයේ කැතාරියානුවෝ පුනර්ජන්මය පිළිබඳ විශ්වාසය හේතුවෙන් ප්‍රචණ්ඩකාරී හිංසනයට බඳුන් වූහ.

රැස්කරගත් නව තොරතුරු පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණය කරන මට වැටහී ගිය කරුණක් වූයේ පුනර්ජන්මය පිළිබඳ විශ්වාසයට අමතරව කැතරියානු ඥෙයවාදීන් හා කබාලාවරුන් විසින් පොදුවේ දරණ ලද තවත් මතයක් ඇති බව යි. එනම් අපගේ තාර්කික මනසින් දකින හෝ දැනගන්නා දෑට ඔබ්බෙන් අප විඳින සෘජු පොද්ගලික අත්දැකීම් හෝ ආගමික සංසදයන් මඟින් අපට උගන්වන ඇතැම් දෑ ආධ්‍යාත්මික ප්‍රඥාවේ ප්‍රධාන මූලාශ්‍රයක් බව යි. එ මතු නොව මේ සෘජු පෞද්ගලික අත්දැකීම් විසින් යමකුගේ පෞරුෂ හා ආධ්‍යාත්මික වර්ධනයට බලසම්පන්න ලෙස අනුබල ලැබෙන බවයි. අවාසනාවකට මෙන් ව්‍යවහාරික ධර්මයට රැහැනි ව ගිය ඇදැහීම් ඇත්තන් දැඩි ලෙස ම දණ්ඩනයට ලක් කැරුණු හෙයින් ඒවා රහස් ලෙස කුඩා කණ්ඩායම් අතර පමණක් ඉතිරි වූයේ ය. පූර්ව ජන්ම ගුරුහරුකම්වල මර්ධනය, දේශපාලනික මිස ආධ්‍යාත්මික කටයුත්තක් වූයේ නැත.

ඉදින් මම ක්‍රම ක්‍රමයෙන් මෙසේ වන්නේ මන්ද? යන ගැටළුවට පිලිතුරු අවබෝධ කර ගන්නට පටන් ගතිමි. ‍මගේ විශ්වාසයන් මහජනතාව වෙත රැගෙන ගියහොත් දඬුවමට ලක්වන්නට සිදුවේදැයි මා තුළ කුකුසක් විය.

එතෙකුදු වුව සිය වර්ධනය හා සුව වීම සම්බන්ධයෙන් වූ මේ නව මෙවලම් පරිහරණය කිරීමට ජනතාවට අයිතියක් ඇති බව මා තරයේ විශ්වාස කළ අතර මගේ ම සායනික අත්දැකීම් ඇසුරින්, මිනිසුන්ගේ ජීවිත සුවපත් කිරීමට හා සහමුලින් වෙනස් කරන්නට පූර්වජන්ම ප්‍රතිගමණටය ඇති හැකියාව මවිසින් අවබෝධ කොට ගෙන සිටියෙමි. එමඟින් රෝගීන් වඩාත් යහපත් මිනිසුන් බවට පත් වන අයුරුත් තමන් වෙසෙන සමාජයට හෝ තම පවුලට වැඩි යමක් ප්‍රදානය කළ හැකි වඩාත් ප්‍රයෝජනවත් සාමාජිකයන් බවට පත් වන අයුරුත් මම දැන සිටියෙමි.

එහෙත් මගේ “අනේක ජාති - අනේක ගුරුන් (Many Lives, Many Masters)” කෘතිය පළකිරීමෙන් අනතුරු ව පවා මම අමිහිරි ප්‍රතිචාරයක් බලාපොරොතුවෙන් සිටියෙමි. වෛද්‍යවරුන්ගේ සරදමට ලක් වීමත්, කීර්ති නාමය ‍කෙලෙසීමත්, ඇතැම් විට මගේ පවුලට අත් විය හැකි කරදර කම්කටොළු පවා මා බලාපොරොත්තුව සිටි ප්‍රතිඵල අතර වීය. එහෙත් මගේ බිය පදනම් රහිත එකක් වූයේ ය. හුදකලා සගයෙක් හෝ දෙදෙනෙක් “අසරණ බ්‍රයන් දැන් වල කටේ එක් පයක් තබා ගෙන සිටිතැයි” තැන තැන කසු කුසු ගෑවා හැරෙන්නට මට මිත්‍රයන් හෝ සගයන් අහිමි නො වී ය. ඒ වෙනුවට මම ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කැර ගතිමි. මගේ අත්දැකීම්වලට සමාන ඒවා ලත් එහෙත් ඒවා ප්‍රසිද්ධ කිරීමට තරම් එඩිතර නො වූ රට පුරා විසිරි සිටි මනෝවෛද්‍යවරුන‍් හා ප්‍රතිකාරකයන් වෙතින් මට ලියුම් – චමත්කාර ජනක ලියුම් – ලැබෙන්නට පටන් ගත්තේ ය.

මෙය මවිසින් උගත් ප්‍රබලතම පාඩමක් විය. මගේ අත්දැකීම් ලේඛණගත කොට පොදු ජනතාව හා වෘත්තීය ප්‍රජාව වෙත පිරිනැමීමේ අවදානම මවිසින් දරන ලද අතර ප්‍රතිඵල ලෙස මට තිලිණ ලැබුණේ දැනුම, තහවුරු කිරීම් හා පිලිගැනීම යි. එ සේ ම අවබෝධය යනු පොත්ගුල් තුළට වැදී අධ්‍යයන වාර්තා කියවීමෙන් පමණක් ලැබෙන්නක් නොවන වග ද මම උගත්තෙමි. එය යමකුගේ ස්ව–අත්දැකීම් ගවේශණය කිරීමෙන් ද අත්පත් කර ගත හැකි දැයකි. අන්තර්ඥානය විසින් කෙනකු ප්‍රඥාව වෙත කැඳවා ගෙන යනු ලබයි. මේ සාධක ද්වය ‍විටෙක එකිනෙක සම්මුඛ වන අතර අනෝන්‍ය වශයෙන් පෝෂණය ද අනුප්‍රාණය ද ලබා ගනී. මට සිදු වූයේ ද එවැන්නකි.

මා මේ කථාව ඔබට කියන්නේ ඔබ තුළ ඇති අතීරණය එනම්, අවබෝධාත්මක හා බුද්ධිමය දැනුම් කඳවුරු අතර ඇතිවන කඹ ඇදීම, මා තුළ වූ එවැන්නට සමාන විය හැකි බැවිනි. ඔබගේ ඇදහීම් හා අත්දැකීම් අන් බොහෝ දෙනකුට ද තිබිය හැකිවා පමණක් නොව ඇතැම් විට මේ පිරිස ඔබ පරිකල්පනය කරනවාට වඩා බෙහෙවින් ම වැඩි වන්නට ද පිළිවන. මෙවන් බොහෝ දෙනකු සිය අත්දැකීම් සන්නිවේදනය කිරීම සඳහා අධෛර්යමත් කරනු ලබන්නේ එවැන්නක් සඳහා ඔබට ද බලපෑම් කරන හේතු සාධක විසිනි. ඇතැම් ‍විටෙක යම් පිරිස් මේවා පෞද්ගලික මට්ටමින් ප්‍රකාශ කරනවා විය හැකි ය. වඩාත් වැදගත් වන්නේ විවෘත මනසින් යුතු ව ඔබේ පෞද්ගලික අත්දැකීම් මත විශ්වාසය පවත්වා ගැනීම යි. ඔබේ පෞද්ගලික අත්දැකීම් හා යථාර්ථය පිළිබඳ සංජානන වෙනත් පුද්ගලයන්ගේ ඇදහීම් හා ආධානග්‍රාහය මඟින් යටපත් වන්නට ඉඩ දිය යුතු නොවේ.

(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නො වේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු ය)

4 comments:

  1. ඉතාම වටිනා ලිපියක් ඔබ ආපසු ලියනනට ගත්තෙ සෑහෙන කලෙකින් වගෙයි. මා නම් ඔබේ අනගි අඩිවිය වේලාසනම රෝලට දාගත්තා. ඇත්තෙන්ම අපට අවශ්‍ය මෙවැනි සංවාද තමයි.

    ReplyDelete
  2. මෙම කෘතියේ සින්හල පරිවර්තනය සසර ගමනේ අසිරිය නමින් අපේ මන්ඩාවල පඤ්ඤාවන්ස හිමියන් විසින් සින්හලෙන් පලකර තිබේ.

    ReplyDelete
  3. ඉතා වටිනා දැක්මක්.
    Thanks Anonymous මෙය ඇතුලත් කෘතියේ සිංහල පරිවර්තනය ගැන දැනුවත් කිරීම සම්බන්දව.මගෙ blog එකෙත් වෙනස් දැක්මක් ඇති post තියනව. හැබැයි ඒව මට හිතෙන දේවල්. මම ඉතා කෘතඥ වෙනව බුද්ධිමත් පාඨකයන්ට ඒව බලල මගෙ වැරදි තියනව නම් පෙනනල දුන්නොත්.

    ReplyDelete
  4. ස්තුතියි ඔබේ දිරිගැන්වීමට. පෙර ලිපි වලට ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබුන නිසා අපේ සිංහල බ්ලොග් අවකාශය තුළ මෙවැනි විෂයයන්ට අවධානයක් නැතයි සිතුන නිසාත්, කාර්ය බහුල වූ නිසාත් කලකින් ලියන්න බැරි උනා. ඒත් මේ ගැන උනන්දු වන කිහිප දෙනෙකු හෝ සිටින බව පෙනී යාමෙන් නැවත ඒ ගැන වෙහෙසෙන්නට දිරි ලැබෙනවා. ස්තුතියි නැවතත්.

    බ්‍රයන් වේස් ගේ කෘති කිහිපයක් සිංහලට පෙරලී තිබෙනවා. ඔබ කියන "සසර ගමනේ අසිරිය" මා දන්නා පරිදි මෙම කෘතියේ පරිවර්තනය නොවෙයි. වේස්ගේ පළමු කෘතිය වූ Many Lives, Many Masters හි පරිවර්තනයයි. මගේ මීට පෙර ලිපියට මණ්ඩාවල ස්වාමීන් වහන්සේ යෙදූ කමෙන්ට් එක බලන්න. මා දන්නා තරමින් මේ පොත සිංහලට පරිවර්තනය වී නැහැ. මා එහි සැලකිය යුතු කොටසක් අවසන් කොට තිබෙන්නේ. බ්ලොග් අඩවියට වරින් වර ලියන අතරේ මෙය අවසන් වූ පසු මුද්‍රිත පොතක් ලෙස පළ වේවි. මාස කිහිපයකින් !

    ReplyDelete