Thursday, April 23, 2015

මරණාසන්න අත්දැකීමකට මුහුණ දුන් ෂර්ලි

ආචාර්ය රේමන්ඩ් මූඩි, ආචාර්ය එලිසබෙත් කුබ්ලර් රොස්, වෛද්‍ය කෙනත් රීං, වෛද්‍ය මෙල්වින් මෝස් හා වෙනත් එවැනි කීර්තිමත් විශේෂඥයන්ගේ පර්යේෂණ තුළින් තහවුරු කරනු ලැබූ මරණාසන්න හා අත්දැකීම්වලට (NDE) හිමිවන්නේ වැදගත් ස්ථානයකි. පූර්වජන්මයන් හා ඒවා සිහිපත් කිරීම වූකලී තාර්කික මෙන් ම මනසට හා සහජඥානයට ගෝචර වූ එකක් බවට අත්දැකීම් පදනම් කරගත් ‍ලෝක දෘෂ්වියක් ඉන් සැපයෙයි. එමගින් අවධාරණය කරනු ලබන්නේ බොහෝ දෙනා විසින් තමාටම සීමා වූ දෙයක් ලෙස තබාගන්නා වූ ද, බොහෝ විට පූර්වජන්ම ප්‍රතිගමණ පර්යේෂණයන් ඇසුරින් සොයා ගනු ලැබූ දැනුමට සාකල්‍යයෙන් ම සමාන්තර වූ ද, තවත් පොදු මානව අත්දැකීමකි.

හැත්තෑපස් හැවිරිදි ෂර්ලි, මගීන් 170 කට මරු කැඳ වූ මාරක ගුවන් අනතුරකින් දිවි ගලවාගත් අතලොස්සක් දෙනා අතරින් එක් අයෙක් වූවා ය. අස්ථි බිඳීම් රාශියක් සහිත ව බරපතල ලෙස තුවාල ලත් ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සෑහෙන තරම් හානි වී තිබිණි. විසිරී ගිය යානයේ සුන්බුන් අතරින් ඉවතට ගැලවී ගිය ආසනයේ පටියට සිර වී සිටි ඈ සොයා ගැණුනේ වගුරු බිමක මඩ වතුර මැදිනි. ආපදා මධ්‍යස්ථානයේ රෝහල් ගත ව සිටි ඈට මාරාන්තික විය හැකි මට්ටමේ අංශක 106ක උණක් හටගත්තේ ය. තද බල ලෙස උණෙන් ගැහෙමින් ඈ සිහිවිසංඥ තත්වයට පත් වූවාය. අනතුරුව හෘත්-ශ්වසන අකරණයට මුහුණ දුන් ඇගේ ශ්වසනය හා හෘද ස්පන්දනය නතර වූයේ ය. ඈ යළි පණගන්වන්නට කළ වික්‍රමාන්විත සටන නිෂ්ඵල වූවක් සේ පෙනී ගිය ද වෛද්‍ය කණ්ඩායම සිය ප්‍රයත්නය අත්හැර දැම්මේ නැත.

මේ සියළු ප්‍රයත්නයන් මැද ෂර්ලි මරණාසන්න අත්දැකීමකට මුහුණ දුන්නා ය. සිය සිරුර මතින් පාවී ගිය ඈට හමු වූයේ සුදු පරෙවි රංචුවකි. ඔවුන් විසින් ඈ බොහෝ ඈතින් තිබූ චමත්කාර ජනක ආලෝකයක් වෙත කැඳවාගෙන යනු ලැබුවා ය. ඈට දැනුනේ අතිශයින් ම ප්‍රමෝදකර බවකි. එහි යන අතරතුර පසු පස හැරී බැලූ ඈ දුටුවේ වෛද්‍යවරුන් හා හෙදියන් සිය සිරුර සමඟ කරන යමර යුද්ධය යි. එක්ස් කිරණ දෘෂ්ටියකින් මෙන් සිය සිරුරේ වූ බිඳී ගිය අස්ථීන් ඈට පැහැදිලි ව පෙනිණ.

තමනට සංඥා කරණ ආලෝකය දෙස නැවත හැරී බලන ඈට “අනේ මේ කුරුල්ලන්ට කථා කරන්න හැකි වුණා නම්” යයි සිතුණි.

ආලෝකය වෙතින් ගලා ආ කටහඬක් ඇයට ඇසුනේ ඒ මොහොතේය. සන්සුන් හා ප්‍රශාන්තිකර වූ ඒ හඬින් කියවුණේ ඇගේ කාලය තව ම පැමිණ නොමැති බව යි.

ඈ ‍විරෝධය පෑවාය. “මගේ ශරීරය පොඩි පට්ටම් වෙලා. මට ඒ වේදනාව තුළට නැවත යන්න බැහැ”

කටහඬ නැවත ප්‍රතිචාර දැක්වීය “ඔබට තිබෙනවා ලෝකයට පණිවුඩයක් රැගෙන යන්න.... ඒ පණිවුඩය තමා, ශාන්තිය යනු ආදරය බවත් ආදරය යනු ප්‍රඥාව බවත්ය යන්න”

ෂර්ලිට තවදුරටත් දන්වා සිටිනු ලැබුයේ මේ පණිවුඩය සන්නිවේදනය කරමින් ඈ බොහෝ මිනිසුන්ට උපකාර කරනු ඇති බව ය.

ෂර්ලි නැවතත් සිය සිරුරට පිවිසියා ය. එය වෛද්‍යවරුන් විශ්මයෙන් අළලන්නක් විය. ඇගේ හෘදය අවසන් වතාවට කම්පනය වී මෙන්ම ඈ අවසන් වරට ස්වයංසිද්ධ හුස්මක් ගෙන ඒ වන විට මිනිත්තු පහලොවක් ගත වී තිබිණ. ඈ පසු ව ඇගේ පණිවුඩය සියල්ලන්ට ම පැවසුවා ය. ඇගේ පවුලේ සාමාජිකයෝ “ශාන්තිය - ආදරය - ප්‍රඥාව” යනුවෙන් ඇගේ කාමරය පුරා පෝස්ටර් ඇලැවූහ.

ෂර්ලිට කටහඬ තවත් එක් වරක් ඇසුණි. ඒ, ඇතැම් විට ඈ ඉදිරි ජීවිත කාලය පුරාම සදාකාලික ශාරීරික අප්‍රාණික භාවයකින් පෙළෙනු ලැබීමට ඉඩ ඇතැයි වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කරනු ලැබූ මොහොතේ ය.

“නැහැ මට එහෙම වෙන්නෙ නෑ” ඈ විරෝධය පෑවා ය. “පැය බාගයකින් ආපසු එන්න. මම ඒක ඔබට ඔප්පු කරන්නම්.”

කතිකා කරගත් වේලාවට වෛද්‍යවරුන් පෙරලා පැමිණි පසු ෂර්ලි ඔවුනට කීවේ ඇගේ සුවපත් වීම සිදු වනු ඇත්තේ අභ්‍යන්තරයේ සිට බාහිර දෙසට බව යි. ‍සිය දෙපා දෙස බලා සිටින්නැයි වෛද්‍යවරුන්ට කී ඈ දෑස් පියාගෙන යළිත් වතාවක් ආලෝකය වෙත සිත සමාධිගත කළා ය. සංශයවාදී වෛද්‍යවරුන් විස්‍මයෙන් මුසපත් වූයේ ෂර්ලි සිය දෙපා චලනය කරන්නට පටන් ගත් විට ය. එතැන් පටන් ඇගේ ප්‍රකෘති සුවය ලැබීම අචල මෙන්ම අනවරත එකක් විය.

(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නො වේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු ය)

5 comments:

  1. Near Death Experience (NDE) Reply to Dr Ruwan M Jayatunge

    http://transyl2014.blogspot.ca/2014/10/near-death-experience-nde-reply-to-dr.html

    ReplyDelete
  2. මෙවැනි අත්දැකීම් ලබන බොහෝ දෙනෙකුගේ පාපොච්චාරණ එකම විදියයි.. එය විශ්වාසකටයුතු නොවුනත් ප්‍රතික්ශේප කිරීමටද නොහැකියි. ඉදිරි කොටස් කියවීමට කැමැත්තෙන්..

    ReplyDelete
  3. මා ළඟ බ්‍රයන් වයිස් ගේ පොත කිහිපයක්ම තිබෙනවා. කාලයක් ඔහුගේ පොත් හා කියවන්නෙක් හා ඒ අදහස් පිලි ගත්තත් දැන්නම් එපමණ නැහැ. මේ NDE ගැන වෛද්‍යවරුන්ගේ මතය නම් මොළයේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් නිසා එය තිවන බවයි.

    ReplyDelete
  4. මෙය ඉතාමත් වැදගත් ලිපියක්. ඉතිරි කොටස ලියන්න කියවනවා.

    ReplyDelete